14 Apr 2012

පනාමුරේ ඇත් රාජා මැරී වැටුණේ මගෙ දෑස් ඉදිරිපිටයි

උපුටාගැනීම 

පනාමුරේ... පනාමරේ
පනාමුරේ ඇත් රාජා- පනාමුරේ ඇත් රාජා
අභීත නද පා හස්තිරාජා ඒ
සටන් කෙළේ තෙද පා
පනාමුරේ ඇත් රාජා
මේ මධුර ගීය ඔබට මතක ද? 1950 දශකයේදී සුගතපාල මලලසේකර නමැති තනු නිර්මාපකයා මතු නොව ගායකයා විසින් ගයන ලද මහා කිවියකු වූ ආනන්ද රාජකරුණා විසින් ලියන ලද මේ අපූරු ගීය නිර්මාණය වූයේ කුමන සිද්ධියක් අරබයා දැයි බොහෝ දෙනෙක් දැන් දනිති.
ලංකාවේ ප්‍රථම කතානායක ප්‍රැන්සිස් මොලමුරේ මැතිඳුන්ට රජයෙන් ලියා දුන් පුරා අක්කර 99,000 ක් පමණ වන මහා වන තීරයේ ජීවත්වූ අලි ඇතුන් විශාල ප්‍රමාණයක් අල්ලා හීලෑ කැර විකුණා දැමීමේ 1928 පමණ කාලයේ සිට පැවැති ඇත් ගාල් ක්‍රමය මුළුමනින්ම අහෝසි වී ගියේ මේ පනාමුරේ සද්දන්තයා වරිගය වෙනුවෙන් කළ මහා සටනේ ප්‍රතිඵලයක් වශයෙනි. 1950 අගෝස්තු 9 වැනි දා මේ සත්ත්වයා තම වර්ගයාගේ නිදහස වෙනුවෙන් අභීතව සටන් වැද දිවි පූජා කෙළේය.
මේ සද්දන්තයා එදා දිවි පූජා කරනු සියැසින් දුටු සුගතපාල මේ කම්පනීය සිද්ධියෙන් දෙකපෝල දිගේ රූටා වැටෙන කඳුළු අතරින් හැඟුම්බරව සිටි ආනන්ද රාජකරුණා සූරින් ලවා මෙහි ගේය පද රචනාව සකසා ගනු ලැබිණ. මේ අවස්ථාව වන විට දෙදෙනාම සිටියේ බුරුත තේක්ක කොටවලින් ගැට ගසා තිබු මහා අට්ටාලයක් මත සිදුවීම නරඹමිනි.
ඒ උදාර පනාමුරේ ඇත් රාජා මිය ගොස් දැන් වසර 61 කි. මම අද ඔබට ලියන්නේ ඒ ඇත් වීරයාගේ නැවත උප්පත්ති කතාවකි. වසර ගණනාවකට පසුත් කෘතවේදී සංවේදී ගැමි ජනතාව හරසරින් එම සතා සමරා පින්කම් කරන මොහොතක් ගැන ය. තවත් හරියටම දින දෙකකින් පනාමුරේ ඇත් රාජා වෙනුවෙන් මුළුමහත් පනාමුරේ ජනයාගෙන් බොහෝ දෙනෙක් ඒ සතා සමරා භික්ෂුන් වහන්සේ ලවා බණක් කියවා මහා දානයක් දෙති. මතක වස්ත්‍ර පූජා කරති. සංඝයා වහන්සේට අටපිරිකර පුදති. මේ ආශ්චර්යය කුමක් ද?
එදා මේ අට්ටාලවල සිට ඇතුන් දඟ දමන යුරු නැරැඹු සුද්දන් දැන් මෙහි නැත. කඩපිල් ද නැත. කතානායක මොලමුරේ ද නැත. මඩුවන්වෙල දිසාවේ පරපුරෙන් පැමිණි එදා ඒ ශෝචනීය සිද්ධිය දුටු ජේ. ඒ. ඩබ්ලිව්. මඩුවන්වෙල කෝරළේ මහත්මයා ද අද ජීවතුන් අතර නැත. මේ සිද්ධියට විශේෂයෙන් ඇත් ගාලට සම්බන්ධව සිටි කිසිවෙකුත් අද නැත. ඒත් ඇත් ගාලේ ඇතුන් මේච්චල් කළ උන් නෑවු, කැවූ පෙවු හීලෑ කරන්නට වෙහෙස වූ එක්තරා එකම මිනිසෙක් පමණක් හිඳී. ඒ ඇත් ගාලේ ඇතුන් බලන්නා ලෙස වැඩ කළ හේවා ගමආරච්චිගේ පැන්ටිස් ය. සිද්ධිය වන විට පැන්ටිස් අවුරුදු 22 ක හිරිමල් තරුණයෙකි. අද ඔහුට අවුරුදු 83 කි. මේ පැන්ටිස් මහතා ඒ සිද්ධිය මතකයට නැඟු අන්දමයි.
මට ඊයේ අද වගේ මතකයි මහත්තයො. ඒ සද්දන්තයා වෙඩි කාලා වැටුණු අන්දම. මහ පොළොව දූවිල්ලෙන් වැසිලා ගියා. මහ පොළොව දෙදරුම් කෑවා. මිනිස්සු ඇඬුවා. මං අලි බලන්නෙක් හැටියට නොයෙක් තැන්වල වැඩ කළ කෙනෙක්. බොහොම හයිරන්කාර ඇත්තු මං කීකරු දරුවො වගෙ බලා ගත්තා.
එදා මොලමුරේ මහත්තයලට රජයෙන් අක්කර 99,000 ක් ලියා දීලා තිබුණා. ඒක මෙහෙ ඉඳන් (පනාමුරේ) කෑගල්ල දක්වාම මහ කැලේ. ඒ කැලයේ තිබුණු ගහකොළ විතරක් නොවෙයි, වන සිවුපාවුන් පවා අයිති ඒ හාමුදුරුවන්ට. 1928 ඉඳන් ඇත් ගාලක් පටන්ගෙන උන්නාන්සෙ මේ මහා වනයේ අලි ඇතුන් අල්ලා විකුණුවා. මං පනාමුරේ ගමට ආවෙ මේ ඇත් ගාලේදි අල්ලන අලි නාවන්න. කවන්න. පොවන්න. බලා ගන්ඩ. (දැන් ඔහු එහිම කසාදයක් කැරගෙන පනාමුරේට මඳක් දුර කොළොන්න ගමේ උස් කඳු ගැටයක නිවසක් හදාගෙන ජීවත් වෙයි.)
එදා මේකෙ අලි අල්ලන්න ආපු පනික්කියො ගොඩාක් හිටියෙ කෑගලු දිසාවේ අය. මේ මහා කැලේ හාමුදුරුවන්ගෙන් අවසර ගත්තු අහිංසක ගැමියන් පැල් අටවාගෙන ජීවත් වුණා. ඒ අයත් මේ විදියට අලි අල්ලන්න සහභාගි වුණා. එදා ආණ්ඩුකාර උන්නාන්සේ නිතර ආවා ගියා මේ අලි අල්ලනවා බලන්ඩ. විලියම් ගොපල්ලව උන්නාන්සේ. උන්නාන්සෙ පනාමුරේ ඇත් රජාගෙ සිද්ධියේදී හිටියෙ කන්තිරිප්පුවෙ. මේ ඇත් ගාල නිසා එදා මේ ගම දියුණු වෙලා තිබුණා.
කඩපිල්, විතරක් නොවේ තැබෑරුම් පවා ඇතිවුණා. සුද්දො ගමේ කොල්ලන්ට වීසි කළේ ඩොලර් කොළ. ඒ ගොල්ලො හරිම ආසයි අල්ලගන්නා අලි හීලෑ කරනවා බලන්ඩ. මේකේ මිනිස්සු ඉන්නා හරිය අට්ටාල හදලා තිබුණෙ ශක්තිමත් දැව යොදලා. බුරුත, තේක්ක, පලු, වීර කඳන් දාලා යෝධයකුටවත් ගලවන්න බැරි තරමට හදලා තිබුණේ.
ඇත්ගාලේ ඉතිරිව ඇති එකම බුරුත කණුව

ඔය කියන ඇත් රාජා නම එහෙම කීවත් මෙයා ඇතෙක් නොව දැවැන්ත අලියෙක්. අඩි 9 ක් උසයි. අඩි 13 ක් දිගයි ශරීරය. ඒ වතාවෙ ඔක්කොම අලි 18 ක් එක්ක මෙයත් ගාලට වට කළේ. අලි නෑම්බියොත් මේ අතර හිටියා. හීලෑ අලින් දාලා මේ අය හීලෑ කරන ක්‍රමයටත් මෙයා කැමැති වුණේ නෑ. මෙයා කුංචනාද දිදී ඇත්ගාලේ දූවිලි අවුස්සමින් කලබල කළා.
දවස් 7 ක් විතර එකම සෙල්ලම. සුද්දන්ට නම් හරිම විනෝදයි. ඒත් මෙයා හටන් කරන්නේ අනෙත් කට්ටියත් අරන් ගාලෙන් පනින්න. කලබලය දිගටම තිබ්බා. අනිත් අලි ළඟටවත් කිට්ටු වෙන්න මෙයා ඉඩ දුන්නෙම නෑ.
අන්තිමේ මොලමුරේ හාමුදුරුවො දළ ඇතෙක් ලවා ඌ මට්ටු කරගන්ඩ බැලුවා. ශරීරය දිහා බැලුවාම මුකුත් කරන්ඩ ලෝබයි. සාමාන්‍යයෙන් අලියා ඇතා දැක්කම තරමක් බය වෙනවා. ඒත් මෙයා බය වුණේම නෑ. ගැහුවා ගැහිල්ලක් ඇතාට. දළ ඇතා කරණම් ගහලා වීසි වෙලා අට්ටාලය ළඟටම ගිහින් වැටුණා. බලා හිටියවුන් විස්මයට පත්වුණා. ඔක්කොම කීවෙ ‘අප්පේ මෙයාට දළ තිබුණානම් ඔක්කොම මරලා දාවි’ කියලයි.
අලි පනික්කියො නොයෙක් සෙල්ලම් දාලා ඇතා මේ ගාලෙ තවත් පුංචි ගාලකට කොටු කරන්ඩ බැලුවා. කොහොම හරි කොටු කළා. ටික වේලාවයි ගියේ. ගැහුවෙ නැතෑ, අර පුංචි ගාලෙ මහ බුරුත කොට හතරඅත වීසි වෙන්න. කුංචනාදය කරලා එලෝ මෙලෝ සිහියක් නැතිව පිඹගෙන එනවා ගහන්ඩ. මිනිස්සු අට්ටාලයෙන් බිමට පැනලා දුවන්නත් ලෑස්ති වුණා. ෙ
මාලමුරේ හාමුදුරුවො අණ කළා, ලංසි මහත්තයකුට. ඒ කාලෙ එතුමා කීවොත් ඒක තමයි අණ. කාටවත් ඒක වෙනස් කරන්ඩ බෑ. සුද්දා තුවක්කුව අරන් ඇවිත් තරමක් නැවිලා ඉලක්කය ඇල්ලුවා. එකම වෙඩි පහරක්. හරියට නළල මැදට. මහා පර්වතයක් වැටුණා වගේ නිදහස ඉල්ලපු ඒ වීරයා මැරිලා වැටුණා.
මං දැක්කා වැටුණු ගමන් සතාගෙ පණ යනකොට උගෙ ලිඟුව තවත් කකුලක් වගේ ඉදිරියට නෙරනවා. තවත් සුද්දෙක් අට්ටාලයෙන් පැනලා ආවා පොටෝ ගන්ඩ. හාමුදුරුවො ගැහුවෙ නැතෑ සුද්දට පයින්. සුද්දා වීසිවෙලා බිම වැටුණා. නැගිටලා සැලියුට් එකකුත් ගහලා සුද්දා ආයිත් ගියා අට්ටාලෙට. මගෙ ජීවිතේ දැකපු ශෝචනීයම සිදුවීම ඒක තමයි මහත්තයො. මං ‘කදිරා’ හා ‘මැණිකෙ’ කියලා සැර පිරිමි සතෙක් හා ගැහැනු සතෙක් බලලා තියෙනවා. ඒත් මේ තරම් ශක්තිවන්තයෙක් දැකලා නෑ. මිනිස්සු ඇඬුවා.
අපි ඇත්ගාල බලන්නට ගියෙමු. එහි තිබුණු බුරුත තේක්ක කඳන් කණු අතුරුදන්ය. එකම එක බුරුත කොටයක් පමණක් අදත් විරාජමානව තිබේ. පනාමුරේ ඇත් ගාල වෙනුවෙන් වූ අක්කර 10 ක් පමණ වූ ඒ වපසරියේ දැන් ඇත්තේ සුළු ඉඩම් කට්ටියකි.
අනෙත් සියල්ලම ඉඩම් අයිතිකරුවන් කැර ඇතැම් දේශපාලකයන් විසින් ලියා දී ඇත. අලි ඇතුන් විඩාව සංසිඳුවන්නට පිපාසය නිවාගන්නට පැමිණි දිය උල්පත ද දැන් ඇත්තේ එහා ඉඩමේය. ගහකොළට සතා සීපාවට පෙම් බඳින ඇත් ගාලේ නව සංරක්ෂණ කටයුතු සඳහා බොහෝ දරදිය අඳින පිත්තල බොත්තම්කාරයකු සිටීම ගැන මම සතුටු වෙමි. ඔහු පනාමුරේ ගමේ මිනිසුන්ගේ දේවදූතයාය. හොරණ සහකාර පොලිස් අධිකාරී සමන් රත්නායක නමැති ඒ අරුම පුදුම පරිසරවේදියා ගහකොළට සතා සීපාවට පෙම් බඳින්නා මම හමු වෙමි.
මම පුංචි සන්දියේ ඉඳන් අලි ඇතුන් ගැන හරියට කියවනවා. පොලිස් ජීවිතයේ යම්බඳු විරාමයක් ලැබු තැන මගේ නෝනත් සමඟ මං යන්නෙ හිත සැහැල්ලු කරගන්ඩ වනපෙත් බලන්ඩ. පනාමුරේ ඇත් රාජා ගැන පියසේන කහඳගමගේ ලියපු පොතක් මා කියෙව්වා. මේ හරහාත් තවත් බොහෝ කියැවීම්වල ප්‍රතිඵලත් නිසා මට මේ ඇතා ගැන විශේෂ ආදරයක් ඇතිවුණා. මං ඒ ඇත් ගාල පිහිටි තැන බලන්ඩ ගියාම එතැන තිබුණේ එකම කණුවක් විතරයි. ඒ ඉඩමවත් අනාගත පරපුරට අහිමි වන බවක් මට දැනුණා. මං ගමේ මිනිස්සුත් එක්ක මේ භූමිය රැකගෙන මේ සතාගෙ පිළිරුවක් මෙතැන අඹවන්න කල්පනා කළා.
ඇත් ගාලේ ඇතුන් බලන්නා ලෙස වැඩ කළ
හේවා ගමආරච්චිගේ පැන්ටිස්

දැන් ඒ පිළිරුව අපි හදාගෙන යනවා. එහා පැත්තෙ ඉඩම සල්ලි දීලා අරගෙන හරි අපි ඇත් ගාලෙ තිබුණු අලියා වැටුණු තැන ජනතාවට බලා ගන්ඩ උරුම කරනවා. මේ 9 වැනිදා ඒ ඇත්රජා වෙනුවෙන් ගමේ මිනිස්සුත් එක්ක පින්කම් කරවන්ඩ කටයුතු කළා. බණක් කියවලා දානයක් දීලා පින්පෙත් දෙනවා. ඒ විතරක් නොවේ පින්නවලින් කන්නන්ගර මහතාට ලැබුණු ඒ වර්ගයේ ඇත් පැටියෙක් අපි එදාට මෙතැනට ගෙනෙනවා.
දැනට මේ ස්ථානයේ අලි ඇතුන් පිළිබඳ වටිනා කරුණු ගොඩාක් තියෙන කෞතුකාගාරයක් හදාගෙන යනවා. ඇතා මරා පිළිස්සු තැන තිබී හමුවූ කොටස් පවා මෙහි තියෙනවා. මේක අනාගත පරපුරට ඒ උරුමය ආරක්ෂා කැර තැබීමක් වේවි. පනාමුරේ කාවන්තිස්ස රජමහා විහාරෙ ලොකු හාමුදුරුවොත් ගමේ ප්‍රභූ පිරිසත් බොහෝ පරිසර හිතකාමී ගැමියනුත් මට මේකට උදව් කරනවා. එතුමා කීවේ තිර අදිටනිනි.
පනාමුර ඓතිහාසික හස්තිරාජ පදනමේ නිර්මාතෘ සමන් රත්නායක මහතාය. එහි ලේකම් විජමුනිගේ පියදාස දැන් මා අබිමුව හිඳී.
ආසියාවේ තිබුණු ලොකුම ඇත්ගාල මේකයි. එහෙම කීවට අද මේක පර්චස් ගණනකට කොටු වෙලා. අක්කර 10 ක් පමණ වපසරිය අහිමි වෙලා. අද ඇත්ගාලේ ලකුණක් හැටියට තියෙන්නෙ එකම කණුවයි. පනාමුරේ කියන ගම ලෝකට ගෙන ගියේ මේ ඇතාගේ වීර ක්‍රියාවයි. මේ කෞතුකාගාරයේ වටිනා බඩු භාණ්ඩ රැසක් අපි එකතු කරලා තියෙනවා. පනාමුරේ ඇතාගේ සමහර කොටස් ද මෙහි තියෙනවා. එදා ඇත්ගාල තිබියදී මෙහි තිබුණු ශ්‍රී විභූතිය නැවත මතු කරගන්නයි අපේ කල්පනාව. මෙහි පැමිණෙන සංචාරක භවතුන් හරහා යම්බඳු ආදායමක් ලැබුණොත් ඒ මුදලින් අප මේ රටේ රෝගාතුර වූ අලි ඇතුන්ට වෛද්‍ය ප්‍රතිකාර කරන ක්‍රමයක් අරඹනවා. දුගී ජීවත්වීමට මාර්ගයක් නොමැති ඇත්ගොව්වන් රැක බලා ගැනීමේ ක්‍රමවේදයකුත් අරඹනවා.
මෙහි සියලු නිර්මාණ සැලසුම් කරන්නේ එංගලන්තයේ සිවිල් ඉංජිනේරුවකු වශයෙන් වසර 38 ක් සේවය කැර දැන් පනාමුරේ ගමේ පදිංචි මහරගම උපන් ලාංකිකයකු වන ඩැන්වෙල් දියෙස් මහතාය. ඔහුගේ අලංකාර නිවසේ ද එකතු කැර ඇති පනාමුරේ ඇත් රජාගේ පින්තූර බොහෝ වෙයි.
“පිටරටක ජීවත්වන විටයි අපේ වටිනාකම අපට වැඩියෙන් දැනෙන්නේ. මේ වගේ සද්දන්තයෙක් ගැන විශේෂ සිද්ධියක් තිබුණනම් ඒ රටවල මේක ස්මාරකයක් කරලා බොහෝ කල්.” එතුමා කීවේ සංවේගයෙනි.
පනාමුරේ ඇතා පිළිබඳ ගවේෂණයේදී ඒ සංවේදී මිනිසුන් අතර කතාබහේදී තවත් අලුත් යමක් මට සිහි විය. සාමාන්‍යයෙන් අලි රංචුවක නායකත්වය හිමි වන්නේ ඇතින්නකටය. නැත්නම් කෙණරකටය. අලියාගේ ගැහැනු සතා කෙණෙර නමින් හැඳින්වෙන අතර ඇතාගේ ගැහැනු සතා ඇතින්න නමින් හැඳින්වෙයි. රෑනක බොහෝ විට ජීවත්වන්නේ ගැහැනු සතුන් ය. පිරිමි සතුන් සිටිනවානම් ඒ පුංචි සන්දියේදී පමණි. නිසි වයස එළැඹි තරුණ වියට පැමිණි පසු රැලෙන් පන්නා හැරීම සිරිතය. මේ සත්ත්ව විද්‍යාඥයන්ගේ මතයයි.
තුන්පත් රෑන බිහිවන්නේ කෙණෙර හා එම සතාගේ ඉස්සර මුරයේ පැටියා හා පසුකාලීනව එකතු වන පැටියාගෙන් බව සත්ත්ව විද්‍යාඥ මතයයි. එසේම අලියා කෙණෙර පැටියා යනුවෙන් තුන්පත් රැළ හඳුන්වන අය ද සිටිති. මෙවැනිම උභතෝකෝටික ප්‍රශ්නයක් පනාමුරේ අලියා පිළිබඳව ද පැන නැඟිණි. මේ ඇතා හොඳින් වැඩුණු අවුරුදු 25 ක පමණ වයසේ අලි තරුණයෙකු බව ඇත්ගාලේ සිටියවුන් අතර ජීවත්ව සිටින එකම අලි බලන්නා පැන්ටිස් කියයි. සතා වෙඩි කා මැරී වැටෙද්දී ඔහුගේ ලිඟුව ඉදිරියට ඇදුණු බව සියැසින්ම දුටුවා යැයි හෙතෙම දිවුරා කියයි. එසේනම් මේ අලියා රෑනට නායකත්වය දුන් අලියා ද? අලි රංචුවට නායකත්වය දෙන පිරිමි සතුන් සිටී ද? යන ප්‍රශ්නය අප තුළ පැන නඟී.
කෙසේ නමුත් වැඩුණු පිරිමි සතුන් කීප දෙනකුට රෑනක සිටිය නොහැකි ය. එවිට නෑම්බියන් දිනා ගැනීමට පිරිමි සතුන් අතර සටන් ඇතිවේ. ඒ අනුව ශක්තිවන්තයා රැලේ හැර දමා දුර්වලයන් පැන යයි. “තනි අලියා” බිහිවන්නේ මේ ආකාරයෙනි. ඌ බරපතළ හිතුවක්කාරයකු ලෙස ගොවීහු හඳුනති. පනාමුරේ මෙසේ මිය ගිය අලියා අනෙත් සතුන්ගේ නිදහස වෙනුවෙන් දිවි දුන් පිරිමි සතෙකි. මේ සිද්ධි දාමය දෙස බලන විට අලි රංචුවේ නායකත්වය ද, තවදුරටත් සොයා බැලීමට සත්ත්ව විද්‍යාඥයන්ට බාර කරමි.
මේ ගැන සොයා බැලීමේදී මෙන්ම තරමක් වෙනස් කතාවක් අපට කී අලිමංකඩ පාරේ හෙට්ටිආරච්චිගේ කොරනේලිස් අප්පුහාමි (70) මහතාගේ කතාව ද අපට අලුත් අදහස් ගෙන දෙන්නකි.
මහත්තයෝ, මේ අලි ගාලට කරදරයක් වුණේ පස්සෙ. පනාමුරේ අලියාත් නෑම්බියෝ 18 දෙනාත් ගාලේ කරදරයක් නැතිව හීලෑ වෙමින් හිටියා. මේ අතර ගමේ එදා හිටපු රාළහාමිගේ පුතා මන්තර බලයෙන් මොනවාදෝ කරමින් ඔය කැලය මැදින්ගියා. ඒ අය මන්ත්‍ර බලයෙන් කෙළ පැමිණි අය. තමන්ගේ ඉසව්වේ අවසර නැතිව මෙහෙම යන රාළහාමිගෙ පුතාව දැකලා මොලමුරේ මහත්තයා එයාට අතින් ගැහුවා.
එයා කේන්තියට මන්ත්‍රයක් ජප කරලා යන්ට ගියා. එදා හිට හීලෑ වෙමින් හිටි මේ සද්දන්තයා පිස්සු වැටුණා. එදා අපි මේ අලි ගාල බලන්න ගියේ පුදුමාකාර ආසාවකින්. ඒත් මේ සද්දන්තයා මෙතැන පොර අල්ලලා වෙඩි කාලා මිය ගියාට පස්සෙ මට මේ පැත්ත බලන්ඩ හිතුණෙ නෑ. අන්තිම මොහොතේ මෙයාව අල්ලන්න එළපු මද්ද වැරැදිලා නියපොත්තක් ගැලවී ගියා. ඊට පස්සෙ නවත්තන්ඩ බැරි වුණා. ඒ සතා හීලෑ කරගන්ට මොලමුරේ මහත්තයා ඌට කන්ඩ හරිහැටි නොදුන්නත් අනෙත් සතුන්ට දාන කොළ අතු කාලා මේකා පිස්සු නටනවා. බැරිම තැන තමයි වෙඩි තිබ්බේ. ඒත් මේවාට විරුද්ධව කට අරින්න එදා කාටවත් බෑ. ඒත් ගමේ මිනිස්සු තවමත් මේ අලියා වෙනුවෙන් පින්පෙත් පුදනවා. හෙට අනිද්දා සිද්ධ වෙන්නෙත් ඒකමයි.
අලි ඇතුන්ගේ නිදහස වෙනුවෙන් පනාමුරේ අලියාගේ දිවි පිදීම මුළුමහත් ලෝකයේම ඇත්ගාල් ක්‍රමය තහනම් වීමට ප්‍රබල හේතුවක් විය. හෙට අනිද්දා මෙහි පැමිණෙන ඒ අලියාට සමාන පෙනුමින් යුත් කුඩා ප්‍රමාණයේ අලි පැටවා මේ භූමියේ ඒ මේ අත සැරිසරමින් තම අලි මුත්තා වෙනුවෙන් මහත් කාර්යභාරයකට සූදානමින් හිඳී. මා හිතන්නේ මේ ගැමියන්ගේ එකමුතුවෙන් ඒ පනාමුරේ ඇත් රාජා යළි ඉපදී ඇති බවකි. අනාගත සුරපුර වෙනුවෙන් එතැන ඉදිවන පනාමුරේ ඇත් රජුගේ ශරීර ප්‍රමාණයේ ප්‍රතිමාව තවත් බොහෝ කාලයකට මේ සිදුවීම අපේ හිත්වල දෝංකාර නංවන්නකි.
පුංචි පනාමුරේ ඇත් රජුනි! ඔබට අපේ ආචාරය
පනාමුරේ පනාමුරේ
පනාමුරේ ඇත් රාජා - පනාමුරේ ඇත් රාජා
අභීත නද පා හස්ති රාජා ඒ
සටන් කෙළේ තෙද පා
පනාමුරේ ඇත් රාජා

Labels:

10 Aug 2011

දළදා පෙරහැර මංගල්‍යය


දළදා පෙරහැරේ අලි ඇතුන්

ශ්‍රී ලංකාවෙහි පවත්වන්නාවූ උදාර සම්ප්‍රදායික මහෝත්සවයකි, දළදා පෙරහැර මංගල්‍යයය. මෙම මංගල්‍ය්‍ය දළදා මාලිගාව සහ අස්ගිරි / මල්වතු මහා විහාරය මගින් සංවිධානය කෙරේ.
ඇසළ පසළොස්වක පොහොය දිනයෙන් ඇරඹෙන ඇසල මංල්‍යයේ වඩාත්ම ජනප්‍රිය අංගය නිකිණි මස පවත්වන්නාවූ රන්දෝලි පෙරහැරයි. මෙම උළෙල, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංඛේතයක් බවට පත් වී ඇත. මෙය නර්තනයන්ගෙන් සහ අගනා ලෙස සරහූ හස්තීන්ගෙන් සමන්විත වූ බෞද්ධ උළෙලකි.මෙහි ගිනි බෝල කරුවන්ගේ නර්තන, කස කරුවන්, උඩරට නර්තන සහ අනෙකුත් විවිධ සංස්කෘතික නර්තනයන් ඇතුලත් වේ.පෙරහැරේ අලි ඇත්තු අධික ලෙස වියදම් කර නිමවූ මනරම් වස්ත්‍රයන්ගෙන් සැරසෙති. මෙම උළලෙහි නිමාව සනිටුහන් වනුයේ නිකිණි පසළොස්වක දිනයේ පවත්වන සම්ප්‍රදායික දිය කැපීමේ මංගල්‍යයයෙනි.

මහනුවර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාලත් දළදා මාළිඟාවත් එක්ව පවත්වන මහා පෙරහැර දළදා පෙරහැර නමින් හඳුන්වයි.

දෙවියන් උදෙසා පැවැත්වු දේව පෙරහැරක් ලෙස පැවති මහනුවර ඇසළ පෙරහැර 18 වැනි සියවසේ මහනුවර රජ කල කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා පෙරහැරත් එක් කරන ලදී.


වර්තමාන දළදා පෙරහැර

දළදා පෙරහැරට අයිති සියලුම කාර්යයන් සිදු කෙරෙන්නේ මාළිඟාවේ නැකත් සෑදීම සදහා නියම කර ඇති නැකත්රාළ පිළියෙළ කර ඇති නැකත්වලට අනුවය.

කාරිය කරවන කෝරාළ

ඔහු පෙරහැර පවත්වන දිනය හා වෙලාවන් ගම් දහයේ විදානෙලාට දැනුම් දී කටයුතු සුදානමි කරයි.පෙරහැර සඳහා පළමුව සතර දේවාලයේ කප් සිටුවයි. දිය කපන දිනයේ උගුල්ලා ගඟට විසි කරන්නේ මෙම කපයි.පාන්දර හතරට පමණ කප සිටුවන අතර අලුත් නුවර සිට කප ගෙන ඒමද සිරිතකි. කප සිටවු පසු පුරා දින පහක් රාත්‍රි 7.00 පමණ ඒ ඒ දේවාල වටා කුඩා පෙරහැරක් කරයි.

කුඹල් පෙරහැර

පස් වන දවස අවසානයේ එළඹෙන්නේ කුඹල් පෙරහැරයි. මෙහිදී කාරිය කරවන රාළ මාළිඟාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරැ, රීදී අත්පන්දමි, වඩන තල අතු, ආදිය පිරිසිදු කොට ඒවාත් කුඹල් ‍පෙරහැර වීදි සංචාරය කරවයි. මෙම පෙරහැර දේවාල පෙරහැරට වඩා අලංකාර වේ. මෙයට ගම් දහයේ විදානෙලා, බෙරවාදකයින්, සහ නැට්ටුවන්ද සහභාගී වේ. මෙම පෙරහැරට ධාතු කරඩුව වඩම්මන අතර අලි ඇතුන්ද සහභාගී කරවති. පළමු දින පහ තුළ දේවාලය වටා ගමන් ගත් දේවාල පෙරහැර හතර ඊ ළග දිනයේ මාළිඟාවේ පෙරහැරට එක් වී මෙසේ වීදි සංචාරය කිරීම කුඹල් පෙරහැ‍රේ ලක්ෂණයයි.

රන්දෝලි පෙරහැර

පෙරහැරේ ගමන් කරන ඇතුන්
රන්දෝලි පෙරහැර සදහා මාළිඟාවේ ප්‍රධාන දොරටුව අබියසදී කරඩුව ගෙන යන ඇතා සරසනු ලබයි. නිලමේලාද තම තමන්ට නියමිත දේවාලය හා මාළිඟය තුළ සූදානමි වෙයි.
පළමු වෙඩි හඩත් සමග සිව් මහා දේවාල පෙරහැර මාළිඟාව අසළට ගමන් කිරීම අරඹත්ම දළදා මාළිඟායේ හේවිසි මණ්ඩපයට එකතු වන පනික්කයෝ දිය වඩන නිළමේ කැද‍වා ගෙන එන්නට ඔහු සිටින කුටියට ගොස් වැද නමස්කාර කොට ඔහු කැඳවාගෙන ආ යුතු වේ. එවිට තූර්ය නාද පැවැත්වෙන අතර දළදා කරඬුව ඇතු පිට තබනු ලැබේ.
මෙයට හේවිසි මණ්ඩපයේ සිටම පාවඩ එළනු ලැබේ. හදුන්කුඩම ළගදි කත්තියන රාළගෙන් වතුර කෙණ්ඩියක් ගෙන පිරිසිදු වු බව දැනගන්නා දියවඩන නිළ‍මේ නියමිත නැකතට අනුව කරඬුව පාවඩ පිට වඩම්මවනු ලැබේ. ඒ අතර ඔහු දෙපස අත්පන්දම් හා වඩ තලඅතු අල්ලන අය තම තමන්තමන්ගේ රාජකාරී කරමින් ගමන් කරනු දැකිය හැකිය. අවසාන වෙඩි මුරයත් සමග පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිළමේට සමන්පිච්ච මල් මාලාවක් පළඳවයි.
පෙරහැරේ ගමන් කරන පුද්ගලයින් හා ඒ ඒ අයගේ කාර්යය සංසිද්ධි.
  • කසකරුවෝ
  • ගිනි බෝල කරුවෝ සහ බෞද්ධ කොඩි ගෙන යන්නෝ
  • කොඩි ගෙන යන්නෝ
  • පෙරමුණේ රාළ (ඇතකු පිට නැගී ලේකම් මිටිය සහිතව)
  • හේවිසි වාදකයෝ (දවුල්, හොරණෑ, තම්මැට්ටම්, තාලම්පට,හක්ගෙඩිය අත ඇතිව )
  • ගජනායක නිළමේ (ඇතකු පිට රිදී කරඩුවක් සහිතව)
  • ඇතුන් කිහිප දෙනෙක්, නැට්ටුවෝ සහ බෙරකරුව
  • කාරිය කෝරාළ
  • නැට්ටු‍වෝ හා ‍බෙරවාදකයෝ
  • කවිකාර මඩුවේ ශිල්පීහු (දළදා ගුණ ගයමින් ගමන් කරති)
  • දළදා කරඩුව රැගත් ඇතා (පාවඩ මතින් යන අතර දෙපස දෑලේ ඇත්තු දෙදෙනෙක් යති.)
  • වෙස් නැටුම් කණ්ඩායමක් හා බෙරවාදකයෝ
  • දියවඩන නිළමේ

දළදා මාළිඟාවේ ‍පෙරහැරට පසුව ගමන් කරන දේවාල පෙරහැර

  • නාථ දේවාලයේ පෙරහැර
  • විෂ්ණු දේවාලයේ පෙරහැර
  • කතරගම දේවාලයේ පෙරහැර
  • පත්තිනි දේවාලයේ පෙරහැර

දළදා මාළිඟාව

දළදා මාළිඟාව කියා හදුන්වන්නේ දළදා වහන්සේ වැඩ සිටින සන්දිරයයි. දාඨා ධාතුව, දළදා ගේ, දළදා මන්දිරය, කියාද හදුන්වන්නේ මෙයයි.
බුදුන් වහන්සේගේ දන්ත ධාතුව මෙහි තැම්පත් කර තිබෙන නිසා දළදා මාළිඟාය බොදු ජනයා හට ඉතා වැදගත් ස්ථානයකි. ලංකාවේ දළදා වහන්සේ විවිධ සතුරු උවදුරුවලින් ආරක්ෂා කිරීම සදහා විවිධ ස්ථානවලට ගෙන ගිය බව ඉතිහාසයේ දැක්වේ. මෙලෙස දළදාව ආරක්ෂා කිරීමට ප්‍රධාන හේතුවක් වුයේ දළදාව හිමි පුද්ගලයා මෙරට රජකමට උරුමකම් කිව යුතුයි යන අදහස ලාංකික සමාජය තුළ මුල් බැස ගෙන තිබු නිසාය. දළදාව ලංකාවට වැඩම කරවන ලද්දේ ක්‍රි.ව. 301-328 කිත්සිරි මේඝවර්ණ රජු රට කරවන කාලයේදීය. මෙසේ වැඩම කරවු දළදා වහන්සේ මැණික් කරඩුවක බහා ප්‍රථමයෙන් තැම්පත් කලේ දෙවැනි පෑතිස් රජු විසින් ඉදි කරන ලද ධම්මචක්ක නම් ගෘහය තුළය. එතැන් සිටන් එය "දාඨාධාතු ඝර " නම් විය. ලංකාවේ ප්‍රථම දළදා මාළිඟය ලෙස ගෞරවය ලබන්නේ මිහිඳු හිමි විසින් අනුරාධපුර නගරය මධ්‍යයයේ ඉදි කරනු ලැබූ දළදා මාළිඟාවයි. මේ අයුරින් අනුරාධපුරයේ ස්ථාන කීහීපයකම දළදා මාළිඟා ඉදි කළ බවට පුරා විද්‍යා සාක්ෂිවලින් ඔප්පු වේ.
පොළොන්නරුව රාජධානිය කර ගත් පළමු වන විජයබාහු රජු දළදාවත් රැගෙන පොළොන්නරුවට ගියේය. දළදාව රාජ්‍ය උරුමයේ ප්‍රධාන සංකේතය ලෙස සලකන්නට පටන් ගන්නා ලදී. විනාශ වී ගිය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ රජු අද "අටදාගේ"නමින් හැදින්වෙන ගොඩනැගිල්ලේ දළදාව තැම්පත් කරන ලදී. ඉන් පසු මහා පරාක්‍රම බාහු රජු දළදා මාළිඟා තුනක් ඉඳි කළ බව කියවේ. ඉන් පසු කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු විසින්" හැටදාගේ" නමින් දළදා මාළිඟයක් කරණු ලැබූ බවද සඳහන් වේ.

පොළොන්නරුවෙන් දඹදෙණියට

තෙවැනි විජයබාහු රජු කොත්මලේ සඟවා තිබු දළදාව දඹදෙණියට ගෙන එන ලදී. නමුත් ආරක්ෂාව සඳහා බෙලිගල දළදා මාළිඟයක් සාදා එහි තැම්පත් කළේය. දෙවැනි පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1236-1290 කාළයේදී යළි දඹදෙණියේ රජ මාලිඟය අසළ දළදා මාළිඟයක් සාදා එහි දළදාව තැම්පත් කරන ලද අතර වසර 11 ට පමණ මෙහි දළදාව වැඩි සිටි සේක. ඉන් අනතුරුව දළඳාව යාපහුවේ වැඩ සිටි අතර යාපහුවේ දළදා මාළිඟය පොළොන්නරු සමයෙන් පසුව ඉදි කළ විශිෂ්ටතම මාළිඟාව ලෙස සැලකේ.

දළදාව ගම්පොළට

මේ කාළයේ දළදාව ගම්පොළ කිසියම් ස්ථානයක පිහිටි දළඳා මාළිඟයේ තැම්පත් කර ඇත.

කෝට්ටේ හා මහනුවර යුගවල දළදාව.

හය වන පරාක්‍රමබාහු රජු ඉදි කළ දළදා මාළිඟාව දළදාව වඩම්මවා, අනතුරුව මහනුවර දළදා මාළිඟාවට වැඩමවූ පසු එහි දෙමහල් හා තෙමහල් දළදා මන්දිරවල වරින් වර තැම්පත් කළේය.
කාළයාගේ ඇවෑමෙන් මහනුවර දළදා වහන්සේගේ ස්ථිර වාසස්ථානය බවට මෙය පත් විය. ඉන් පසු දළදාව සිංහල බෞද්ධයන්ගේ ඉතා උසස් ආගමික පුද පූජා ඇතුළත් සංස්කෘතිකාංගයක් වූ පෙරහැරට සම්බන්ධ විය.

ආශ්‍රිත

තොරතුරු -පී. එම් . සේනාරත්න මහාතාගේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික දායාද පොතෙන් හා විශ්වකෝෂයෙනි.


ඉදිරිපත් කිරීම kandy kasun

@ktdmkasun

Labels: