ඇතිව වූ තරහව තමාටත්
අනුන්ටත් අවැඩක් නොවන
පරිදි පිට කළ යුතුය
තරහාවෙන් සිදුවන්නේ යහපතකට වඩා අයහපතක් බව අපි කවුරුත් දනිමු. එහෙත් දැන දැනත් තරහ
ඇතිකරගෙන පීඩාවට පත්වීම, තරහව සැබවින්ම මිනිස් සිතේ ඇතිවන ස්වාභාවික හැඟීමකි. අප
අකමැති දෙයක් සිදුවන විට ඊට ප්‍රතිචාරයක් ලෙස තරහාව මතුවී එයි. සමහර අවස්ථාවලදී
තරහව ආරක්ෂිත දෙයක් ලෙස ද හැඳින්වීමට පුළුවන. තරහාව මඟින් අපට අපහසු අවස්ථාවලට
මුහුණ දීමට ශරීරය හැඩ ගස්වයි.
එහෙත් තරහාව පිළිබඳ ගැටලුව මෙයයි. තරහාව මතුවී එන තරම් ඉක්මනින් තරහව අපෙන් ඉවත්වී
යන්නේ නැත. එය පාලනය කරගත නොහැකි වුවහොත් ජීවිත විනාශ වීම දක්වා දුර දිග යා හැකිය.
ඉක්මනින් කේන්ති යන අය හඳුන්වන්නේ “කුකුල් කේන්තිකාරයන්” ලෙසය. එය ඔවුනට මෙන්ම
සමාජයට ද විශාල පීඩාවකි. ඇතැම් පුද්ගලයන්ට තරහාව පවතින්නේ කෙස් ගසක් තරම් ඈතිනි. එය
මතුවීමට ගතවන්නේ ඇසිපිය හෙළන තරමේ නිමේෂයකි.
තරහාව ඇතිවීමට සාධාරණ හේතු තිබෙන බව බොහෝ අය පවසති. තරහාව අපට අවශ්‍ය වන අවස්ථා ඇති
බව ද සමහරු සිතති. තමාගේ දරුවන් වැරැදි ක්‍රියා කරන විට මවුපියන් තරමක් තදින් සිටිය
යුතු ය යන්න එක් අදහසකි. ආයතනයක ප්‍රධානියා සැරෙන් නොසිටියහොත් එහි සේවකයන් පාලනය
කරගත නොහැකි යැයි ඇතැම් අය සිතති. එම කාරණයෙහි සත්‍යයක් නැත්තේ ද නොවේ. මවුපියන්,
ගුරුවරුන් සහ පාලකයන්ට ඇතැම් විට තමා කෝපයට පත්වී සිටින බව පෙන්වීමට සිදුවෙයි.
නමුත් එම කෝපය අදාළ කාර්යය සඳහා පමණක් විය යුතුය.
ඇතැම් අය එසේ නොකර තමාගේ අභ්‍යන්තර පීඩනය පිටකිරීම සඳහා තරහව යොදා ගනිති. තවත් අය
මුලදී එසේ “සාධාරණ” හේතුවකට තරහා ගත්ත ද පසුව තමාටම නොදැනී එය දුරදිග යන ආකාරය
හඳුනා නොගනිති. ඉන්පසු එය පුරුද්දකට යයි. පසුව තමා නොදැනීම තමා තරහාවේ ගොදුරක් බවට
පත්වෙයි.
තරහාවට වයස් බේදයක්, තරාතිරමක් හෝ උගත්කමක් බලපාන්නේ නැත. මා දන්නා විශේෂඥ
වෛද්‍යවරයෙක් සිටියේය.
ඔහු තමාගේ කාර්යාලය තරහින් පාලනය කළ අතර ඔහුව පාලනය කළේ ඔහුගේම තරහාව විසිනි. තමා
කරන කියන දෙය ද සුදුසුදැයි ඔහුම නොදත්තේය. ඒ නිසා ඔහු අනෙක් අය අතර බොහෝ අප්‍රසාදයට
සහ පිළිකුලට භාජනය විය.
නිතරම තරහෙන් සිටින අයකුට සිදුවන්නේ කුමක් ද?
පළමුවැනි කරුණ නම් ඔහුගේ මානසික සෞඛ්‍යය පිරිහී යාමයි. නිතර නිතර තරහ යන පුද්ගලයන්
ඒ නිසාම මානසික පීඩනයට පත්වෙති. ඒ තත්ත්වය කාලයක් ගතවීමේදී මානසික අවපීඩනය හෝ
විශාදය බවට හැරෙයි. මානසික පීඩනය නිසා සිරුරේ විවිධ තැන්වල විවිධ රෝග ලක්ෂණ
ඇතිවෙයි. හිසරදය ඉන් ප්‍රධානය. එවැනි අයකුට හොඳ නින්දක් නොලැබෙයි. කොතරම් බෙහෙත් කළ
ද එම රෝග සුව නොවෙයි. ඒ නිසා තවදුරටත් පීඩාවට පත්වෙයි.
දෙවැනි කරුණ නම් ශාරීරික රෝග බහුල වීමයි. අධික රුධිර පීඩනය, හදවත් රෝග, ශ්වසන රෝග,
පිළිකා, ආහාර අජීරණය සහ අරුචිය ඒ අතර වෙයි.
ඊළඟ කාරණය නම් නිතර කිපෙන පුද්ගලයාගේ සමාජ සම්බන්ධතා බිඳ වැටීමයි. ඔහුට තම පවුල තුළ
හෝ බාහිර සමාජය තුළ සාර්ථක ලෙස ජීවත් විය හැකි ද? අනෙක් අය ඔහුට අපි‍්‍රය කරති.
විහිළුවට හෝ කොන් කිරීමට ලක් කරති.
තරහාව පාලනය කරන්නේ කෙසේ ද? මෙය බොහෝ දෙනකු අසන වැදගත් ප්‍රශ්නයකි. ඒ සඳහා ක්‍රමවේද
රාශියක් ඇත. ඒවා එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. කෙසේ වුවත් ඔබට
සතුටුදායක ආරංචියක් පැවසිය හැකිය. එනම් තරහාව පාලනය කිරීම අප සිතන තරම් අපහසු දෙයක්
නොවීමය.
තරහාව පාලනය කිරීම අදියර දෙකකට කළ හැකිය.
තරහාව ඇතිවීම පාලනය කිරීම පළමු අදියරයි.
දෙවන අදියර, තරහක් ඇතිවූ විට එයට සුදුසු ලෙස ප්‍රතිචාර දැක්වීමය.
ඔබ මෙහිදී ඉතා පැහැදිලිව අවබෝධ කරගත යුතු දෙයක් තිබේ. එනම් අප විසින් පාලනය කළ
යුත්තේ තරහාව නොවේ. තරහාව ඇතිවීමයි. තරහක් ඇතිවුවාට පසුව එය පාලනය කරන්නට යාම
සුදුසු නැත. එසේ කරන්නට ගියහොත් තරහාව තවත් වැඩිවීමට හෝ ඒ නිසා ශරීරයේ විවිධ ලෙඩ
රෝග ඇතිවීමට ඉඩ ඇත. එබැවින් ඇතිවූ තරහාව ‘පාලනය කිරීම’ නොව ‘පිට කිරීම’ සිදුකළ
යුතුය. නමුත් තරහා පිටකළ යුත්තේ ඒ සඳහා සුදුසු අවස්ථාවේදීය. එමෙන්ම තමාටත් අනුන්ටත්
අහිතකර නොවන ආකාරයටය.
තරහක් ඇතිවූ විට එය පිටකළ යුතු බව ඇත්තය. නමුත් අප තරහින් සිටින විට අපව පාලනය
කරන්නේ තරහාව විසිනි. එබැවින් ඒ අවස්ථාවේදී ප්‍රතිචාර දක්වන්නට යාම භයානකය. තරහාව
ඉවත් වූ විට බුද්ධිය අපව හසුරුවයි. එවිට සුදුසු දෙයක් කල්පනා කර ප්‍රතිචාර දැක්විය
හැකිය.
යම් දෙයක් නිසා තරහාව ඇතිවෙයි නම් තාවකාලිකව ඒ දෙයින් ඉවත් වී සිටීම සුදුසුය.
කිසිවක් කතා නොකර සිටීම ද සුදුසුය. කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා කාලය ගත වීමට ඉඩ
හැරීම සුදුසුම ක්‍රමයකි.
බොහෝ දෙනෙකු පවසන්නේ තමාට වැඩියෙන්ම තරහා යන්නේ තමාගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සමඟ
බවයි. ඒ පිළිබඳව මා ඇසු කතාවක් ඇත.
එක් භාර්යාවක් තම ස්වාමියාට නිතර දෙවේලේ දෝෂාරෝපණය කිරීමට පුරුදුව සිටියාය. දිනක්
ඔහු කිසිවක් නොකියා ගෙදරින් පිටවී යම් වේලාවක් නගරයේ ඇවිද නැවතත් ගෙදරට පැමිණියේය.
එවිට ඇය නැවතත් ඔහුට දෝෂාරෝපණය කිරීමට පටන්ගත්තාය. ඉන්පසු ඔහු නැවතත් නගරයට පැමිණ
එදින රාත්‍රීයේ තම ඥාති නිවසක නතර වී පසුවදා නැවත ගෙදර ගියේය. ඒ වන විට බිරියගේ
තරහා අඩුවී තිබිණි. ඇය නැවතත් කිසිවක් නොකීවේ එසේ වුවහොත් තම ස්වාමියා බොහෝ කලකට
තමාට දකින්නට නොලැබෙනු ඇතැයි සිතා විය හැකිය.
තරහාවක් පැමිණි විට තමාගේ අවධානය සම්පූර්ණයෙන් වෙන අතකට යොමු කළ හැකි නම් එය ද
සුදුසු ක්‍රමයකි. තමා පි‍්‍රයකරන ක්‍රීඩාවක්, විනෝදාංශයක් හෝ ව්‍යායාමයක් කළ හැකිය.
තමා පි‍්‍රය කරන දෙයක් කළ විට මොළයේ ස්‍රාවය වන්නේ හිතකර රසායන ද්‍රව්‍යයි. එවිට
සුව පහසුවක් ඇති වෙයි. තරහක් පැමිණි විට එකේ සිට දහයට සෙමින් ගණන් කරන්න යැයි
පවසන්නේ ද මේ නිසාය. එසේ නැතිනම් දීර්ඝ හුස්ම ගනිමින් ඒ ගැන අවධානයෙන් සිටිය හැකිය.
තමාගේ පීඩාකාරී සිතුවිලි සහ තරහා මුසු හැඟීම් තමාට හිතවත් කෙනෙකුට පැවසීම හෝ ඒවා
කොළයක ලියා තැබීම සිදුකළ හැකිය. එවිට සිත සැහැල්ලු වෙයි.
සාමාන්‍යයෙන්, ඔබට දැනෙන තරහාව විනාඩි පහකට වඩා සිතේ නොපවතින්නේ නම් ඒ පිළිබඳව
එතරම් කරදර විය යුතු නැත. තරහාව විනාඩි පහකට වඩා පවතියිනම් එයට සුදුසු පරිදි
ප්‍රතිචාර දැක්විය යුතුය.
ගුවන් විදුලියේ එක්තරා හාස්‍යජනක වැඩසටහනක තරහාව පාලනය කිරීමේ ක්‍රම කීපයක්
ඉදිරිපත් කළේය. තමාට තරහා ඇතිවන්නේ තමාගේ පෙම්වතා සමඟ නම් පෙම්වතිය සිතිය යුත්තේ
ලෝකයෙහි ගැහැනු සහ පිරිමි අතර අනුපාතය තුනට එකක් පමණ වන බවය. එසේම තමන්ට තරහා යන්නේ
තම පෙම්වතිය සමඟ නම් ඔහු සිතිය යුත්තේ ඇය යහළු කරගැනීමට පසුපසින් ගොස් තමා කොතරම්
දුක් වින්දේද යන්නයි. ඇය සමඟ තරහා වී වෙනත් අයෙකු ගැන සිතන්නේ නම් නැවතත් තමාට ඉහත
දුකම විඳීමට සිදුවිය හැකිය.
යම් සේවකයකුට තරහා ඇතිවන්නේ තමාගේ ස්වාමියා පිළිබඳව නම් ඔහු සිතිය යුත්තේ තම වැටුප
ලැබී සුමාන දෙකක් තුනක් ගත වන විට තමා ජීවත් වන්නේ කෙසේ ද යන්නය. එවිට තමාගේ තරහා
පාලනය වන බව එහි සඳහන් විය.
ඒවා හාස්‍යජනක කරුණු වුවද ඒවා තුළ වැදගත් පණිවිඩයක් ඇත. එනම් තරහාවක් ඇතිවූ විට
කල්පනා කළ යුත්තේ එම තරහාව නිසා තමාට ඇතිවන අවාසි පිළිබඳවය. තරහින් තමාට වන වාසිවලට
වඩා අවාසි බෙහෙවින් වැඩිය. බුද්ධිමත් පුද්ගලයන් තරහා නොගන්නේ ඒ නිසාය.
තරහා ඇතිවන අයට මෛත්‍රී භාවනාව පුරුදු කරන ලෙස උපදෙස් ලබාදෙන අවස්ථා තිබේ. එය ඉතා
හොඳ දෙයකි. නමුත් මෛත්‍රී භාවනාව පුරුදු කළ යුත්තේ තරහා ඇතිවීමට පෙර සිටය. එනම්
තමාට ඉදිරි ජීවිතයේදී විවිධ අවස්ථාවලදී තරහාවල් ඇතිවිය හැකි බැවින් කලින් සිට ඊට
සූදානම් වීමක් ලෙස භාවනාව වැඩිය යුතුය. යම් අයකු අධික ලෙස තරහින් සිටින විට භාවනා
කරන්නට යැයි කීම වැරැදි උපදෙසකි.
මෝහනය මඟින් ද තරහා ඇතිවීම සාර්ථකව පාලනය කළ හැකිය. ඉතා කුඩා සිදුවීමකට වුවද ඇතැම්
විට අපට අනවශ්‍ය පරිදි තරහා යන බව ඔබට හැඟී තිබේ ද? එයට හේතුව අපගේ යටි සිතේ පවතින
අධික තරහාවයි. යටි සිතේ පවතින එම තරහාව අපට මතුපිටින් නොපෙනෙයි. එය ඉවත් කිරීමට
සුදුසුම ක්‍රමය මෝහන චිකිත්සාවයි.
තරහාව යළි ඇති නොවන පරිදි නැති කිරිමට නම් එයට බලපාන සැබෑ හේතු සොයා බලා ඒවා ඉවත්
කළ යුතුය. එම හේතු පවතින්නේ තමා තුළම මිස බාහිර ලෝකයෙහි නොවේ. තමාට තරහා ඇතිවීම
පිළිබඳව බාහිර ලෝකයට චෝදනා එල්ල කළාට එයින් වැඩක් නැත. අප කිසි කෙනෙකුට අපට අවශ්‍ය
පරිදි ලෝකය වෙනස්කර එමඟින් තමාට තරහා ඇතිවීම නැවැත්වීම කළ නොහැකිය. අපට කළ හැක්කේ
අප සිතන ආකාරය වෙනස් කර ගැනීමයි. මේ ලෝකයෙහි තරහාව ජයගත් සෑම මිනිසෙකුම කර ඇත්තේ
එයයි.
මහනුවර මහ රෝහලේ
හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී
සායනික මෝහන වෛද්‍ය
එච්. දමිත් හෙට්ටිආරච්චි