මළ මුහුද
නොගිලෙන මුහුද හෙවත් මළ මුහුද බොහෝ අවස්ථාවල දී සංචාරකයින්ගෙන් පිරී පවතින්කි. මළ මුහුදේ ස්නානය කිරීම සංචාරක විනෝදයක් සේම එය ඉතා දුර්ලභ ස්වාභාවික චිකිත්සාවක් ද වෙයි. මුහුදේ කිසිවෙකුටත් යට ගිලිය නොහැකි ය. මුහුදු කිමිදීමක දී සංචාරකයා පරෙස්සම් විය යුත්තේ ගිලීමකින් වැළකීමට ය. එහෙත් මළ මුහුදේ හිතාමතා හෝ ජල තුළ ගිලීමට නොහැකි ය.
මළ මුහුදේ ඊළඟ ආකර්ශණය වනාහී එහි මඩ (Dead Sea Mud) සංචාරකයින් තම සිරුරේ තවරා ගැනීමයි. ඒවා ඉතා දුර්ලභ සහ ස්වභාවික රූපලාවණ්‍ය ඖෂධයක් සේ සළකයි. ඒ මූදු මඩ කළු පැහැති ය. ඒ මඩ හෑරීම සඳහා වෙනම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක ය. මළ මූදේ ස්නානය කිරීමට එන සංචාරකයින් සඳහා ඔවුන් විසින් මේ මඩ නොමිලේම සම්පාදනය කෙරේ.
මෙහි ”Dead Sea Mud” පැකට් කර අලෙවි කරන රූපලාවණ්‍ය වෙළෙඳසැල් ද බොහොමයක් පවතින බව වාර්තා වේ. ඊශ්‍රායලයත්, ජෝර්දානයත් බෙදී වෙන්වන්නේ මළ මුහුද මධ්‍යයෙනි. මළ මුහුදේ දකුණු ඉවුර ජෝර්දානයවන අතර එහා වම් ඉවුර අයත්වන්නේ ඊශ්‍රායලයට ය. මළ මුහුදේ උතුරු බටහිර හෙවත් වයඹ දිසාවෙන් බෙත්ලෙහෙම, කානා නුවර සහ ජෙරුසලම ආදී ක්‍රිස්තු භූමි හමුවෙයි.
ජෝර්දාන් රාජධානිය මැද පෙරදිග රටකි. එහි පාලනය ඊශ්‍රායලය සමග මළ මුහුද ආශ්‍රිත ව පැවතේ. අක්ෂාංශගත පිහිටීම ගතහොත් උත්තර අක්ෂාංශ 100 – 300 අතර ද නැගෙනහිර දේශාංශ 300 – 450 අතර ද මළ මුහුද පිහිටා ඇත. එහි ඇති අධික ලුණු සාන්ද්‍රණතාවය හේතුවෙන් සාමාන්‍ය මුහුදකට වඩා මළ මුහුදෙහි ජලයෙහි විශේෂත්වයට හේතු වෙයි. මෙම ලවණතාවය සාමාන්‍ය මුහුදු ජලයෙහි මෙන් 08 ගුණයකි.මෙයට හේතු 02 ක් පවතී. ප‍්‍රධාන හේතුව මළ මුහුද වෙනත් සාගරයක් හෝ මුහුදක් සමග සම්බන්ධ නොවීමයි. අනෙක් හේතුව නම් නුබියන්, සිරියන් වැනි විශාල කාන්තාර ප‍්‍රදේශවලට මැදි ව පිහිටීම හේතුවෙන් අධික වාෂ්පීකරණයකින් යුක්තවීමයි.
මෙම විශේෂිත ලවණ සාන්ද්‍රණතාවය හේතුවෙන් සාමාන්‍ය මුහුදක දැකිය හැකි මසුන්, දැල්ලන්, ඉස්සන් වැනි ජීවීන් හෝ මුහුදු ශාඛ මළ මුහුදෙහි දැකිය නොහැක. අධික ලවණතාවයට ඔරොත්තු දෙන, දම් පැහැති ජීවීන් විශේෂයක් මළ මුහුදෙහි වෙසෙන බව සාගර විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇත.
මළ මුහුද පිහිටා ඇති ආකාරය පිළිබඳ විමසීමේදී එය පියවි ඇසින් දැක බලා ගත හැකි මුහුදු මට්ටමින් පහත්ම ස්ථානය ද වේ. මෙහි ජල මට්ටම මීටර් 405 ක් ගැඹුරින් පිහිටා තිබෙන අතර ගොඩබිමේ සිට පහළට යත්ම අධික ලෙස උෂ්ණත්වය ද වැඩි වේ. මෙම විශේෂිත පිහිටීමට හේතු වී ඇත්තේ පෘථිවිය නිර්මාණයවීමේ දී ඇති වූ ගිලාබැසීමක් හෙවත් සුවිභේද නිම්නයක්වීමයි. අධික උෂ්ණත්වයක් පැවතීම නිසා ශීත සෘතුවේ වුව ද මෙම ප‍්‍රදේශය සෑහෙන උෂ්ණත්වයකින් යුක්ත ය.
විශාල ගැඹුරක පිහිටා තිබුණ ද මුහුදු වෙරළට වාහනයකින් යාමට හැකිවීම මළ මුහුදු වෙරළෙහි තවත් විශේෂ ලක්ෂණයකි. මළ මුහුදෙහි ඇති කරදිය මිදී සෑදී ඇති රෝස සහ සුදු පැහැයට හුරු විශාල ලුණු කඳු සහ ටැම් ස්වභාවධර්මයේ තවත් අපූර්වතම නිර්මාණයකි. ඊශ‍්‍රායලයත් ජෝර්දානයත් මෙම ලුණු උපයෝගී කර ගනිමින් ඖෂධ වර්ග, විවිධ රසායනික ද්‍රව්‍ය, තීන්ත වර්ග සහ රසායනිත පොහොර නිෂ්පාදනය කරයි.
පොටෑෂ්, බ්‍රෝමයිට් මැග්නීසියම් වැනි ඛනිජ වර්ග ද මෙම ලුණුවල අන්තර්ගතව ඇත. මළ මුහුද මෙම රටවල සංචාරක කර්මාන්තයට ද විශාල වාසියක් ව ඇත. වසරක් පාසා විශාල සංචාරකයින් සංඛ්‍යාවක් මෙම ප‍්‍රදේශයට පැමිණෙන අතර මළ මුහුදෙහි නෑමට ප‍්‍රිය කරති. මෙම ජලයෙහි සමේ රෝග, ස්වශන රෝග, වාතරෝග, සෙම් රෝග සහ විවිධ හන්දිපත් රෝග සුව කිරීමේ බලයක් ඇත. එමෙන්ම ලවණ මිශ‍්‍රිත මඩෙහි බැස සිටීම ද විවිධ රෝග සඳහා ප‍්‍රතිකාර ක‍්‍රමයකි. ජෝර්දානයේ සහ ඊශ‍්‍රායලයේ හෝටල් කර්මාන්තයට මෙම සංචාරකයන් නිසා විශාල ආදායමක් ලැබේ.





