23 May 2012

"ෆෙන්ෂුයි” (Fengshui)

 ( කාරුණික ආයාචනයයි: මෙම ලිපිය දිගු මුත් කරුණාකර එය හොඳින් මුළ සිට අගට කියවන මෙන් අයැද සිටිමි..උඩින් පල්ලෙන් කියවීමෙන් මෙහි අරමුණ ඉටු නොවේ..)
මෙම ලිපියට මම පහතින් අමුණා ඇති සේයාරුවෙහි පිළිමය ඔබ දැක තිබෙනවාද?..මෙහි මූර්තිමත් වන්නේ තාඕ (Tao) හෙවත් “ආත්මා” වාදීන් ගේ වාසනාවේ දේවයන් සත් දෙනා අතුරින් එක් අයෙකු ලෙස සැලකෙන “බූදායි”(Budai) නම් දෙවියායි..නමුත් පෙරදිග ශිෂ්ඨාචාරයන් ගැන හරි හැටි වැටහීමක් නැති බටහිර ජාතීන් මෙකී මූර්තිය ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ලෙස අනවබෝධයෙන් සළකා මෙයට”The Laughing Buddha” යන අනවර්ථ නාමය යොදා අමතති…වෙනත් ආගමික චෛතසිකයක හැදී වැඩුනු බටහිරයන් එසේ ඇමතීම අපට වටහා ගත හැක…(එහෙත් අපේ වගකීම වන්නේ බටහිරයන්ටද එකී සාවද්‍යයන් ගැන කරුණාවෙන් විග්‍රහ කර දී ඔවුන්ගේ දුර්මතයන්ද දුරු කීරීමට උත්සාහ දැරීමය..නැතිව “ඔන්න ඔහේ ඕන එකක් හිතා ගත්තාවේ” කීම නොවේ)
….අන්තරාය….
නමුත් වඩාත් අවාසනාවන්ත කරුණ එය නොවේ..නමුත් මෑතක සිට ශ්‍රී ලංකාවේ සිංහළ බෞද්ධයන්ගෙන්ද එක්තරා කොටසක් මෙම ප්‍රතිමාව සිය නිවෙස්,වාහන, කාර්යාල හා ව්‍යාපාරික ස්ථාන වල තබාගෙන සිටිති…ඕනෑම රටක සිට එන ඕනෑම විකාරයක්, ඕනෑම අපද්‍රව්‍යයක් සාදු නාද කොට, පෙරහැර පවත්වා ගෙට වඩම්මාගෙන යන ජාතියක් හැටියට අප ප්‍රකට හෙයින්, මේ තත්වය තවත් උත්සන්න වන්නට මත්තෙන් ඒ ගැන යමක් සඳහන් කිරීමට කල්පනා කළෙමි..
ඉතාම භයානක වන්නේ මෙකී “බුදායි” නම් දෙවියෙකුගේ යැයි කියන රුව ගෞතම බුදු පියාණන්ගේ බවට අප අතරම සිටින ඇතැම් නූගත් බොදු කොටස් කල්පනා කිරීමට පටන් ගැනීමය..මේ තත්වය යුහුසුළුව නිරවද්‍ය නොකළහොත් අනාගතයේදී අපේ බුදු ගෙවල් වල වැඩ සිටින දෙතිස් මහා පුරුෂ ලක්ෂණානූන මහා “විශ්ව සියපත” ගේ රූපකායද අතුරු දහන්ව ඒ වෙනුවට මේ රූපයෙහි දැක්වෙන මහත් වූ උදර සහිත වාමන රූපය ආදේශ වීමේ අන්තරායක් පවතී…
සියළු බොදු ලක් වැසියන්ගේ දැන ගැනීම පිණිස නැවත වරක් මෙලෙස ලියමි…අවධාරණය කොට කියමි..
“මේ සිනා මුසු මුහුණින් සිටින, මුඩු හිසක් සහිත රූපය අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ රූපයක් නොවේ…අවම තරමේ අප වැනි බෞද්ධයන් ජීවත් වන විදේශ රටක වත් ” මේ බුදුන්” යැයි සිතා අඹන ලද රූපයක් නොවේ..මේ වූ කළී බුදු දහම ඈත පෙරදිගට යන්නට මත්තෙන් එහි වූ ඇතැමි විශ්වාස වලට අනුව “බූදායි” නොහොත් ධාන්‍යයට හා ධනයට අධිපති යැයි සැළකෙන් දේවතාවෙකුගේ මූර්තියකි..මෙය මහායාන හෝ ථේරවාදී බුදු දහම් ශාඛා ද්විත්වයට කිසිදු අයුරකින් කිසිම සම්බන්ධයක් නොමැත්තකි…නැවතත් කියන වග නම්, මෙහි ගෞතම බුද්ධ ශාසනයේ කිසිදු ශාඛාවකට කිසිදු සම්බන්ධයක් නැත…මේ අපේ බුදු හාමුදුරුවෝ නොවේ”
( ආදරණීය පාඨකයනි! කරුණාකර මහා විනාශයක් වීමට මත්තෙන් මේ ගැන ඔබේ බොදු, නොබොදු මිතුරන් දැනුවත් කිරීමට වග බලා ගන්න )
….මෙන්න අපේ බුදු හාමුදුරුවෝ….
සකළ විධ, අචින්ත්‍ය වූ විශ්ව සත්ව විෂයටම ඉහළින් පෘතුවියෙහි මිනිස් කුළකය ඔසවා තබන, මනු කුළ කිරීටය වූ අපේ බුදු හාමුදුරුවෝ, බුදු වරයන්ට පමණක්ම අනන්‍ය වූ “දෙතිස් මහා පුරුෂ ලක්ෂණ” වලින් සමන් විත වන සේක…එකී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහත පරිදිය…(දීඝ නිකායේ “ලක්ඛණ” සූත්‍රය ඇසුරෙනි)
1. සුප්ට්ඨිත්ත පාද – සම්මා සම්බුද්ධ සිරි පතුළෙහි සාමාන්‍ය මිනිසුන්ගේ මෙන් ඉදිරි පස ඇඟිලි සහ පසු පස විළුඹ අතර, ඇතුළට නෙරීමක් නැත..උන් වහන්සේගේ පාදය සමව බිම ස්පර්ෂ කරයි…
2. හෙට්ඨාපාදතලෙසු ච්ක්ඛාණි – “පාද තලෙසු” යනු යටි පතුළයි..බුදු සිරි පතුළෙහි චක්‍රයක සළකුණක් සහිතය..මෙය යශෝධරාවන් රහල් කුමරු අරඹයා බුදු ගුණ වැනුමට ගැයූ “ඡත්ත වරන්ඛිත රක්ත සුපාදෝ” යන්නෙන්ද නිරූපණය කෙරෙයි…මේ චක්‍රය සමඟ සිරි පාද පත්මයෙහි තවත් “මේරු, චක්ඛවාළ සිඛරී, මිග,සූරෝ, ධජෝ” යනාදි සඥෙ‍යෛය ලක්ෂණ 108ක් ඇත…
3.ආයතපණ්හි – දික්වූ විළුඹ සහ වළළුකර
4.දීඝංඟුලි – දිඟු ඇඟිලි
5.මුදු තළුනභත්ථ පාද – “තළු” යනු පත්ලයි..සිරිපා පත්ල ඉතා මට සිළුටු වේ
6.ජාල හත්ථ පාද – බුදු හිමියන්ගේ අත්පා වල ඇඟිලි (මහපටැඟිලි හැර ) සමාන දිගින් සහ සමාන ඇඟිලි පුරුක් වලින් සමන්විතය..
7. උස්සඬ්කපාදතා – වළළු කර උස්ය
8. එණිජඬ්ගා – මුවෙකුගේ කෙණ්ඩා බඳු සෘජු, නොපළුදු කෙණ්ඩා ඇත්තේය…
9. ඨිතකෝව අනෝමමන්තෝ උභෝහි අත්තේභි ජන්නුකාමි පරිවසති – සෘජුව සිට ගත් කළ සිය දෙ අතින්, දෙදන නොනැමීම ඇල්විය හැක..
10. කොසෝහිත වත්ථගුය්හ – කෝෂයක් පරිද්දෙන් වැසුනු පුරිස් ලකුණකි
11. සුවණ්ණවණ්ණ – රන් වන් පැහැ සිරුර
12. එකෙකලොම – බුද්ධ ශරීරයෙහි සමෙහි එක් රෝම කූපයක ඇත්තේ එක් රෝම ධාතුවක් පමණකි…
13. උද්දග්ගලොම – තථාගතයන් වහන්සේ ගේ සිරසෙහි කේශ ධාතු දකුණට නැමී ඇති “ඌර්ණ රෝම” ලක්ෂණයෙහි පිහිටයි
14. බ‍්‍රහ්මුජ්ජුගත්ත – පහන් ටැඹක් සේ උස්වූ සෘජු, කැපී පෙනෙන නායක ශරීරයකි..
15. සත්තුස්සද – තිලෝගුරු ශරීරයෙහි සවිමත්, පැහැපත් මස් ගොබයන් දෑතෙහිද, දෙපයේද ඇතියෙන් මහා ප්‍රතාපයක් ගෙන දෙයි..
16. සීහපුබ්බද්ධකාය – “පුබ්බද්ධ” යනු “පූර්ව අර්ධ” යන්නයි..බුදු රජාණන් වහන්සේගේ ශරීරයෙහි ඉදිරි අර්ධය කේසර සිංහයෙකුගේ මෙන් තේජ සම්පන්නය…
17. චිතන්තරංස – පුළුල් වූ සම්බුද්ධ උරතළයන් අතර කිසිදු ඇතුලට නෙරීමක් නැත…( සාමාන්‍ය පිරිමියෙකුගේ උරහිස් පතු සහ ගෙල අතර අස්ථි අතුරින් මාංශ ඇතුළට නෙරා යයි..)
18. නිග්‍රෝධ පරිමණ්ඩල – නීග්‍රෝධ වෘක්ෂය වූ කලී පුරාතන දඹදිව්හි කිසිදු පැත්තකට බර වීමක් හෝ ස්ථුල වීමක් නොමැති, කෙළින් සෘජුව අහසට වැඩෙන යෝධ රුකක් ලෙස ප්‍රකට වූවකි..සම්මා සම්බුද්ධ ශ්‍රී ශරීරයද එකී වෘක්ෂය මෙන් අභිමානී වූ සිරුරකි..
19. සමවත්තක්ඛන්ධ – සෘජු, සමාන වක්‍රව වූ ගෙල ප්‍රදේශය
20. රසග්ගසග්ගී ජ්ව්හ – ආහාර වලින් සමාන රස දෙන සම්බුද්ධ රන් දිව
21. සීහහනු – සවිමත්, සිංහයෙකුගේ බඳු, කැපී පෙනෙන හනු සහ හකු පාඩා
22. චත්තාලීස දන්ත – සාමාන්‍ය මිනිසෙකුගෙ දන්ත හෙවත් දත් 32 කි…ශ්‍රී සම්බුද්ධ මුවෙහි සිරි දළදාවෝ 40 ක් පිහිටති..
23. සමදන්ත – දත් බෙහෙවින් සමාන පෙනුමෙන් යුතුය
24. අවිවරදන්ත – සිරි දළදාවෝ මත හෝ ඒවා අතරෙහි කිසිදු විවරයක් නැත..
25. සුසුක්කදාඨ – “සුසුක්ක” යනු “සුදෝ සුදු” යන්නය..බුද්ධ සිරි දළදා ඉමහත් සුදු පැහැයෙන් දිලෙයි..
26. පහූත ජිව්හො – විශ්වයටම අමා වැසි වැස්වූ රන් දිව ඉතා පළල්ය…සවිමත්ය…
27. බ‍්‍රහ්මස්වර – “බ්‍රහ්ම” යන්න පාලියෙහි “අසමසම” යන්නට යෙදේ…සම්මා සම්බුද්ධ ධර්ම ස්වරය අසම සමය…
28. අභිනීලනෙත්ත – ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙන, තියුණු සම්බුද්ධ නේත්‍ර සඟල
29. ගොපමුඛ – අළුත උපන් ගෝ පෝතකයෙකුගේ මුවෙහි ඇති රත හා සමාන රතු ඇස් පිල්ලම්
30. උණ්ණා – ඌර්ණ රෝමය
31. උණ්හීසසීස – දිය බුබුළක් මෙන් මනා හැඩයෙන් යුතු සම්බුදු සිරස
32. සුඛුමච්ඡවි – ඉතා මුදු මොළොක් සම
අපේ බුදු හාමුදුරුවෝ ඉහත සඳහන්, සම්මා සම්බුදු වරුන්ට පමණක් සීමාව පහළ වන ලක්ෂණ 32කින් සමන්විත දේහ ධාරී වන සේක..දැන අර චීන පිළිමය දෙස බලන්න…සිනා උපදවන සුළු, සිල්ලර කඩේක මුදලාලි කෙනෙකු බඳු වූ මේ පෙනුමෙන් කළා කරුවෙකු බුදුන් දැක්කා විය හැකිද?..මුළාවේ නොවැටෙන්න…අපේ ගෞතම බුදු හාමුදුරුවෝ ඉහත පර්ණයෙහි වූ මහා තේජසින් යුක්ත විශ්ව නායකත්වයකි…අතීතය දැකිය හැකි සෘද්ධිමත් මහ රහතුන් වහන්සේලාගෙන් අසා දැන ගෙන “බුදු රදුන් නම් මේ යැයි” ඉන්දියාවේ කුෂාණ රාජ පරම්පරා විසින් නෙළවූ ලොව පළමු බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා ඒ ඇසුරෙන් සිරි ළක විශ්මිත ගල් වඩුවන් නෙළු අවුකන ආදී විජය ලීලා ඇති බුදු ප්‍රතිමා තුළින් වත් අපට සැබෑ ජීවමාන සම්මා සම්බුදු වරයෙකුගේ බුද්ධ තේජස මේ යැයි නිවැරදිව දැක බලා ගත නොහැක…බුදුන් වහන්සේ යනු ඒ සා සුපිරි පෞර්ෂයකි..
….විකාර ආවේ කොහෙන්ද?….
අප රටේ එතරම් ජනප්‍රිය නොවූ මෙකී පිළිමය අප රටට පැමිණියේ “ෆෙන්ෂුයි” (Fengshui) නම් චීන සම්ප්‍රදායික විශ්වාස මාලාවද සමඟිනි..ඇත්ත වශයෙන්ම කියතොත් ෆෙන්ෂුයි යනු බුදු මඟින් බෙහෙවින්ම බැහැර වූ, ආත්මලෝභී විකාරයකි..එපමණක් නොව එහි ඇතැම් ඇදහිලි ඉතාම හාස්‍ය ජනකය..උදාහරණ ලෙස: වැලි පැකට් පසුම්බියේ දමාගෙන යාම, ගංඟා වලින් ඇහිඳින තිරුවානා ගල් බෙල්ලේ එල්ලා ගැනීම වැනි විසුළු වැඩ තුළින් තමාට යහපත් කාළයක් උදා වේ යැයි විශ්වාස කිරීමකි…
බුද්ධිමත් බෞද්ධයිනි..මඳක් සිතා බලන්න..එක එක වැලි වර්ග ළඟ තබා ගැනීමෙන් වාසනාව උදාවනවා නම්, මෙලොව මහා ධන කුවේරයන් වන “බිල් ගේට්ස්, වොරන් බුෆේ, කාර්ලෝස් ස්ලිම්” වැනි අය අබිබවා, කැළණි ගඟේ වැළි ගොඩ දමන්නන් ධනවත් විය යුතු නොවේද?.. එසේ නම්”ෆෝබ්ස්, ද ඉකොනොම්ස්ට්”(Forbes & The Economist) බඳු ජාත්‍යන්තර වාණිජ සඟරා ලොව ධනවත්ම මිනිසුන් ලෙස නම් කළ යුත්තේ ජා-ඇල, වත්තල වැලි මුදලාලිලා නොවේද?…එහෙනම් නිතර වැළි සහිත මඩෙහි ගැවසෙන “කිරි ඉබ්බන්, කාවයියන්, දිය බරියන්, කබරයන්, ගෙම්බන්” ඊටත් වඩා ධනවත් වාසනාවන්තයන්ද?
1949 දී චීනයේ මා ඕ සේතුං විසින් සන්නද්ධ කොමියුනිස්ට් විප්ලවය ජය ගැන්වීමෙන් පසුව, චෞ එන් ලායි (Chou- En – Lai) නම් විප්ලවීය නායකයා යටතේ ආ “සංස්කෘතික විප්ලවය” මඟින් මේ ෆෙන්ග් ෂුයි නම් මනෝ විකාරය තහනම් කොට රටින් අතු ගා දමන ලදී…රෝ බිය, මත් බිය, පර සතුරු බිය නිසා උපතේදී ආයු අපේක්ෂාව වසර 49 කට සීමා වී තිබූ චීනය ලෝක තලයේ යෝධයෙකු ව නැඟී සිටියේ මේ විහිළු වලින් එරට නිදහස් වීමෙන් පසුවය..”ෆෙන්ග්ෂුයි” ගෙන එන වාසනාවේ තරම ඔබට එයින් සිතා ගත හැකිය…දැන් මේ සමයම් වලින් නිදහස් වූ පසුව චීනයට හරි ගොස් ඇති සැටි පසුගිය ඔලිම්පික් (2008) සමාරම්භක උළෙලෙන්ම ඔබට වැටහෙන්නට ඇතැයි සිතමි…
අවාසනාවක මහත! මේ මළ විකාර ඒවා උපන් රටවලින් අතු ගෑවී යද්දී, ඒවා උපන් රටවල් පවා මේවායින් බැහැරව දියුණුවේ හිනි පෙත්ත කරා යද්දී, පිට සක්වළ ජීවින් පවා සරණ ගිය මහා විද්‍යාවක් උපතින් උරුම කර ගත් අප, ඒ කුණු කසළ කෑමට සැදී, පැහැදී සිටින්නෙමු…
….මේවා ගෙනාවේ කවුද?….
උපන් චීනයේ ජනතාව පවා බැහැර කළ මේ මිසදිටුව ලක්දිව ව්‍යාප්ත කිරීමේ පෙරමුණ ගෙන කටයුතු කළේ, සෙල්ල කතරගම පැත්තේ අළුතින් ඉදිකළ “දේවාලයක්” ගජරාමෙට කාසි උණන “පිටකොටුව” බඳු බහු විධ ජාවාරම් පොළක් බවට පත් කර ගත්, විකිණෙන්නේ නැති ජෝතිෂ්‍ය පත්තරයක කළමණාකාරීත්වය විසිනි..(ඉහත දේවාලයට ඔබ ගොස් ඇත්නම් මා කියන දෙයම ඔබටත් වැටහී ඇතැයි සිතමි..)…මේ දේවාලයට ඔබ එක් වරක් හෝ ගොස් තිබෙනවාද?..මේ දේවාලය වනාහි බ්‍රහ්ම ජාල සූත්‍රයෙහි බුදු පියාණෝ කොටස් 64කට බෙදා ප්‍රතික්ෂේප කළ අන්ත “ශාස්වථවාදී” විශ්වාස අතර ඇති, “ක්‍රිෂ්ණා, හනුමාන්” ඇදහීම අපේ බෞද්ධයන්ට හුරු කර, ඒවායේ ඇති මිසදිටු අයිතමයන් විකුණා ගැනීමට සකසන ලද ජාවාරම් පොළකි….(ජාතියේ පිනට උපන් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ට 2007 වසරේදී මාරක අපළයක් ඇති බවට, කුහක දේශාපලන කොන්තරාත්තුවක් ගෙන, ඵල කළේ මේ කෑදර පුවත්පතමය..)
කිරට හඬන අසරණ බිළින්දන් සිටින රටක සිංහළ බෞද්ධයෝ බුරුතු පිටින්, උන් මඟ හැර ගොස්, මේ දේවාලය මැද්දේ තොටිල්ලක “ක්‍රිෂ්ණ බබා” ලෙස නම් කොට තබා ඇති ප්ලාස්ටික් බෝනික්කෙකුට රට කිරි පිටි පැකට්, ළදරු සුවඳ විළවුන්, සබන්, ආහාර පාන යහමින් පූජා කරනු මේ දේවාලය පුරා සැළකිල්ලෙන් ඇවිදින ඕනෑම අයෙකුට දැක බලා ගත හැක…මුලදී අළුතින් සෑදු නිවෙස් වල හට්ටි, මුට්ටි එල්ලා තබා ගන්නා ලෙස කියන විහිළුවකින් පටන් ගත් මොවුන් නිසා, අළුතින් සෑදූ නිවෙස් හිමියන්ට උදා වූ වාසනාවක් ගැන මා නම් අසා නැත…ඒ කෙසේ වෙතත්, උළුවහුවක එල්ලූ මෙවැනි මුට්ටියක සිර වූ අසරණ මීයෙකු නම් මිය පරළොව ගොස් සිටි අයුරු මගේ ඥාතියෙකුගේ නිවසකදී දුටුවෙමි…
එක කාළයක් ශ්‍රී ලංකාවේ හන්දියක්, හන්දියක්, බෝක්කුවක්, බෝක්කුවක් ගානේ, පාළු පිටි, මඩ ගොහොරු ගානේ “විෂ්ණු-ලක්ෂ්මී” පූජා පැවැත්වූයේද මොවුහුය..”ලක්ෂ්මිට” බැරි නම්, “රාමා” ට බැරි නම්, “සීතා” ට බැරි නම්, ඔවුන්ගේ සේවකයා වන “හනුමන්තා” යැයි සිතා ගහක් උඩ ඉන්නා හැලි වඳුරෙකුට හෝ වඳින්නට ඕනෑ එකෙකුට වැඳ ගත්තාට අපට කමක් නැත…නමුත් දැන් පැමිණ ඇත්තේ ඔවුන්ගේ මිථ්‍යා ව්‍යාපාරයේ ඉතාම “බිහිසුණුම” අදියරයි..මේවා ඉවසා වැදෑරුවහොත්, තව ටික දවසකින් මුන් ඔය “බුදායි” (Budai) පිළිමය ඔවුන්ගේ දේවාලයේ ඇති එකම බුදු පිළිමය වෙනුවට තබා “ඒ ඉන්නේ බුදු හාමුදුරුවෝ” යැයි ඔබේ දූ පුතුන්ට කියනු ඇත…කාට, කාටත් තරු පන්ති පිටින් පේන්න ගන්නේ එවිටය..
කරුණාකර මේ ගැන දැනුවත් වන ලෙස මම බුදුන් වඳින දෑත් ඔසවා ඔබ සැමගෙන් ඉල්ලමි..
නො එසේ නම් අනාගත පරපුර “බුදු හාමුදුරුවෝ” යැයි කියනු ඇත්තේ මෙහි පෙනෙන වාමනාකාර රූපයටය..මේ රූපය දෙවියෙකුගේ හෝ වේවා, කාගේ හෝ වේවා, එය වරදවා ගැනීමෙන් විනාශ වන්නේ බෞද්ධ ශ්‍රද්ධාවයි…”බෞද්ධ ශ්‍රද්ධාව” යනු “ප්‍රඥාවේ” පීතෘත්වයයි…එය වැඩි දියුණු වන්නේ හෝ රඳා පවතින්නේ හෝ “බුද්ධ තේජස” ගැන අප දරුවන්ට උගන්වන දෙය අනුවය…”බුද්ධ තේජස” රැඳෙන බුද්ධ ප්‍රතිරූපය විනාශ වන්නේ නම්, එයින්ම ශ්‍රද්ධාවද සමඟ සමස්ථ බුද්ධ ශාසනයම කඩා වැටෙනු ඇත…මිසදිටුවන් බුදු රුවට ඔය තරම් නිගා කරන්නේත් එය දන්නා නිසාමය…දරුවන්ගේ නාමයෙන් දැනුවත් වන්න…
(ඔය ෆෙන් ෂුයි විකාර වලට අපහාස කිරීම නිසා ශාපයක් වදී යැයි හෝ, නපුරක් වේ යැයි හෝ කාට හෝ අනියත බියක් ඇත්නම්, ඒ වෙන නරකක් හෝ වදින ශාපයක් මේ ලිපිය ලියූ මට වදීවායි පතා ඒ බිය දුරු කර ගන්න…බුදු දහමේ නිරවුල් භාවය වෙනුවෙන් ලැබෙන මරණයක් වෙතොත් මම ඊට කිසිදු පැකිළීමකින් තොරව මුහුණ දෙමි…)
“පුන් සඳ මෙන් කඳු මුඳුනේ දිස්වෙන….
රන් වන් සිවුරක් පොරවා රැස් දෙන…..
තුන් ලොවටම මෙත් කරුණා වස්සන…
අන්න බලන් බුදු සමිඳුගේ ලස්සන…..”

 

…මෙන්න අපේ බුදු හාමුදුරුවෝ…

_________________________________


…ෆෙන්ග් ෂුයි මිථ්‍යාව ප්‍රචලිත කරන “බුදායි” පිළිමය…

(Written by D.K. at Cardiff of Wales, United Kingdom.එක්සත් රාජධානියේ, වේල්සයේ කාඩිෆ් හි සිට ලියන ලදී…)       
                                                                                                                          
(පිටපත් කර බෙදා හරින්න)

12 Comments:

At 23 May 2012 at 21:50 , Blogger kumaraya said...

එතකොට ආසිරි මහත්තයගෙ ෆෙන්ෂුයි ගැන මොනවද කියන්න තියෙන්නෙ....?

 
At 23 May 2012 at 21:50 , Blogger kumaraya said...

එතකොට ආසිරි මහත්තයගෙ ෆෙන්ෂුයි ගැන මොනවද කියන්න තියෙන්නෙ....?

 
At 23 May 2012 at 21:51 , Blogger බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

එක එක වැලි වර්ග ළඟ තබා ගැනීමෙන් වාසනාව උදාවනවා නම්, මෙලොව මහා ධන කුවේරයන් වන “බිල් ගේට්ස්, වොරන් බුෆේ, කාර්ලෝස් ස්ලිම්” වැනි අය අබිබවා, කැළණි ගඟේ වැළි ගොඩ දමන්නන් ධනවත් විය යුතු නොවේද?.. එසේ නම්”ෆෝබ්ස්, ද ඉකොනොම්ස්ට්”(Forbes & The Economist) බඳු ජාත්‍යන්තර වාණිජ සඟරා ලොව ධනවත්ම මිනිසුන් ලෙස නම් කළ යුත්තේ ජා-ඇල, වත්තල වැලි මුදලාලිලා නොවේද?…එහෙනම් නිතර වැළි සහිත මඩෙහි ගැවසෙන “කිරි ඉබ්බන්, කාවයියන්, දිය බරියන්, කබරයන්, ගෙම්බන්” ඊටත් වඩා ධනවත් වාසනාවන්තයන්ද?//

++++++++++++++++ & :D:D:D

 
At 24 May 2012 at 02:12 , Anonymous Anonymous said...

wedagat lipiyak

 
At 24 May 2012 at 12:28 , Blogger Kushan said...

නියම ලිපියක්... ගොඩක් ස්තූතියි මෙගැන අන් අය දැනුවත් කලාට.... මමත් මෙගැන ලිපියක් මගෙ බ්ලොග් එකේ ලියන්න හිත හිතා තමයි හිටියෙ... මොකද මම දන්න ගෙවල් කිපයකමත්, තව වෙලඳසල් කිපයකමත් ඔය ලා‍ෆින් බුඬා තියන් ඉන්නවා (මෙරූපයට බුද්ධා කියන එකත් සියලුම සම්මා සම් බුදු/පසේ බුදු වරුන්ට නිගරු කිරිමක්) මට මෙක එ අයට පැහැදිලි කරන්න විදියක් නැතුව හිටියෙ..... මම මෙක පි.ඩි.එෆ් කරලා යාළුවන්ට මෙල් කරන්නම් (ඔබ කැමති/අකමැතිබව මට කියන්න)

 
At 24 May 2012 at 20:58 , Blogger චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

//…බුදු දහමේ නිරවුල් භාවය වෙනුවෙන් ලැබෙන මරණයක් වෙතොත් මම ඊට කිසිදු පැකිළීමකින් තොරව මුහුණ දෙමි//

සම්මා දිට්ඨිය !!! ජයවේවා සහෝ... මේ උත්සාහයට බොහොම පිං !!! මමත් මේක බෙදා ගන්නවා...

 
At 30 May 2012 at 23:03 , Anonymous Anonymous said...

මොනා උණත් 32 මහා පුරුෂ ලක්ෂණ ඉගෙන ගත්තා

 
At 23 August 2012 at 09:33 , Anonymous Lavindra said...

අපේ ජාතියේ පින් මදි කමට අපේ සෝම හාමුදුර ැවො අපිට නැති වුනා. නමුත් ඔබතුමාගෙ ලිපිය කියවලා ඇස් අරින මිනිස්සු ගොඩාක් අැති කියලා හිතනවා. ඔබතුමාට ධර්ම දැනුම වැඩි වැඩියෙන් ලැබේවා!!!

I will definetly share this on FB

 
At 23 August 2012 at 13:06 , Anonymous Lavindra said...

න මෝ බුද්ධාය !! ඔබතුමාට වැඩි වැඩියෙන් දහම් දැනුම ලැබේවා !! සාදු සාදු !!

 
At 23 August 2012 at 13:06 , Anonymous Lavindra said...

න මෝ බුද්ධාය !! ඔබතුමාට වැඩි වැඩියෙන් දහම් දැනුම ලැබේවා !! සාදු සාදු !!

 
At 23 August 2012 at 13:06 , Anonymous Anonymous said...

න මෝ බුද්ධාය !! ඔබතුමාට වැඩි වැඩියෙන් දහම් දැනුම ලැබේවා !! සාදු සාදු !!

 
At 28 September 2012 at 08:11 , Blogger Danushka said...

hoda lipiyak
Asiri wanigarathna kiyanne horek
eyage hora wada gana Neth FM balumgala wadasatahanen sakshi atuwa pennuwa
yanna nethfm.com/balumgala

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home