20 May 2012

පිස්සු පූසා ටයි මහත්තයාට එකවරම කියැවිණිලු

 උපුටාගත්තේ සරසවියෙන්

ටයිටස් තොටවත්තයන් අපේ රටේ දු දරුවනට තිළිණ කළ සිංහල දෙබස් කැවූ කාටුන් කතා මාලා අතර පිස්සු පූසාට අත් වන්නේ ඉහළ තැනකි. කලකට ඉහත ටයි මහත්තයා රජයේ චිත්‍රපට අංශයේ සේවය කරද්දී පැත්තකට දමා තිබූ විදේශීය කාටුන් චිත්‍රපට රීල් කිහිපයක් එකිනෙක සොය ගනිද්දී එහි වූයේ ටොප් කැට් කතා මාලාවය. පිස්සු පූසා ටයි මහත්තයාට එකවරම කියැවිණිලු. පිස්සු පූසා ගේ ගෝලයෝ මාළු කට්ටා, උපාසක, පුරු පුරු ඤාව්වා, මී කතුරාය. එදිරිවාදියා සාජන් මහත්තයාය. මේ සියල්ල එකතු කර ගීතය ලිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස්ය.
නැටි වනමින් යන බිළාල ලොක්කා ඇතුළු සගයෝ වීදිය පුරා මහා කලබලයක් ඇති කර ඇත. පොලීසියේ මහත්තයකු හිස ගිනි ගත්තාක් මෙන් වීදිය පුරා දුව ඇවිදිමින් සිටිනු පෙනෙයි.
මේ සියල්ලටම වගකිව යුතු නායකයෙකු වෙයි. දම් පැහැති තෝප්පියක් හිසලා ගෙන සිටින ඔහු කෙටි කබායකින් සැරැසී ඇත. මුළු ශරීරයම කහ පාටය. බැලූ බැල්මට ජේත්තුකාරයෙකි. තම කණ්ඩායමට නොයෙකුත් චාටු කතා කියයි.
නිව්යෝක් පොලීසියේ ඩිබ්ල් මේ කරදරකාර බිළාල සමූහයාගෙන් නිතර පීඩා විඳින්නෙකි. ඔහුට අවශ්‍ය තව වසම ඇතුළත සාමය පවත්වා ගැනීමටය. එහෙත් ටොප් හැට් ඇතුළු බිළාලයෝ ඊට නිතරම හානි පමුණුවති.
හැනා බාබරා ගේ නිෂ්පාදනයක් වන ‘ටොප් කැට්’ හි අධ්‍යක්ෂණය විලියම් හැනා සහ ජෝසප් බාබෙරා ගෙනි. කොටස් 30 ක රූපවාහිනී කතා මාලාවක් ලෙස ඒබීසී රූපවාහිනියේ විකාශය වූ ටොප් කැට් වසර 50
ක් සපුරන්නේ මේ ජනප්‍රියත්වය සමඟමය. වර්ෂ 1961 සැප්තැම්බර්27 වැනිදා පළමු වරට විකාශය වූ ටෙප් කැට් ද්විමාණ ගණයේ කාටුනයකි. මෙහි ප්‍රධාන චරිතය ටොප් කැට්ය. ඔහුගේ සගයන් ගණන 05 කි. පිළිවෙලින් කිවහොත් හැන්සි හැන්සි, ස්පුක්, බෙනී ද බෝල්, ද බ්‍රේන් සහ චෝ චෝ, ටොප් කැට්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහය ලබා දෙන්නෝය. යූ විල් නෙවර් ගෙට් රිච් නම් විහිලු කතා මාලාවේ ආභාෂයෙන් නිර්මාණය කරන ලද ටොප් කැට් චරිතය පසුකාලීනව එයටම අනන්‍ය වූ හැඩරුවක් ගොඩ නැගෙන ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නැඟීමට සමත් විය.
නිතරම බොරු කියන ටොප් කැට් නම් බිළාලයා ස්වකීය සහචරයන්ට අනුබල දෙන්නේ ද එවන්ම මුසාවාද කීමටය. ටාප් කැට් ගේ එක් සහචරයකු බෙනී ද බෝල්ය. ඔහු ටොප් කැට් ගේ වමතය. තරබාරු, කොට එනමුත් කඩවසම් බෙනී නිල් පැහැති කොලරයක් පළඳියි. කළු රවුම් දෙකක් වැනි ඇස් යුගලයකින් යුක්ත බෙනී කුමන කරුණක් සම්බන්ධයෙන් වුව ද ටොප් කැට් ගේ පාර්ශවය ගනී.
චෝ චෝ රෝස පැහැති බිළාලයෙකි. බෙල්ල තෙක් බොත්තම් දැමූ සුදු කමිසයක් ඇඳ සිටින ඔහු නිතර පිරිසුදුවට ඉන්නට කැමැති අයෙකි. නිතර පෙම් සබඳතාවල පැටලෙන චෝ චෝ ස්වභාවයෙන්ම ප්‍රේමාන්විත බිළාලයෙකි.
හැන්සි හැන්සි නිතර චාටු කතා කියන්නෙකි. ගැහැනු ළමයින් සමඟ ආල කතා කියමින් කල් ගෙවන හැන්සි හැන්සි ඕනෑම ආපදාවකින් බේරී ඒමට සමත් අයෙකි. ඔහු දුඹුරු පැහැතිය. සුදු ස්කාෆයක් බෙල්ල වටා බැඳ සිටින හැන්සි හැනිස් වඩාත් කැපී පෙනෙන හාදයෙකි.
ස්පුක් එතරම් කැපී නොපෙනෙන චරිතයකි. අඩුවෙන් කතා කරන ස්පුක් බොහෝ දුරට හැන්සි හැන්සි ගේ රූපකායට සමානය.
මේ බිළාල සමූහයේ කරදරවලට මුල් වෙන පොලිස් මහත්මයා ඩිබ්ල් නිව්යෝක් පොලීසියේ වැදගත් අයෙකි. ටොප් කැට් ඇතුළු සෙසු බිළාල සගයෝ තමා වාසය කරන වීදිය පුරා නොයෙකුත් තක්කඩිකම්හි නිරත වන බැවින් ඩිබ්ල් පසු වන්නේ මහත් අසහනයෙනි. විශේෂයෙන්ම තමාගේ පොලිස් දුරකථනය ටොප් කැට් භාවිත කිරීම ඔහුට උහුලා ගත නොහැකි මහත් කරදරයකි. ඩිබ්ස් ගේ ප්‍රධානියා මර්පිය. ඩිබ්ස් විසින් නිතරම මර්පි වෙත මේ බිළාල කරදරය ගැන පැමිණිලි කළත් පිළිතුර හිත කළ කිරවන ගණයේ එකකි.
මේ සියලු උපහාස මැද ටොප් කැට් රූපවාහිනී මාලා නාටකය ගලාගෙන යයි. එහි ජනප්‍රියත්වය හේතුවෙන්ම ටොප් කැට් නමින් කොමික් කතා මාලාවක් ද නිකුත් විය. කොමික් කතා මාලාවේ පොත් 31 ක් නිකුත් කර ඇත. ඉන් පසුව යළිත් තවත් කතා 20 ක් ද නිකුත් විය. ඉන් පසුව ලිට්ල් ගෝල්ඩන් බුක්ස් ආයතනය විසින් ළමයින් වෙනුවෙන් ටොප් කැට් නමින් ළමා කෘතියක් ද නිකුත් කරන ලදී.
එය නම් කර තිබුණෙ The Great Grape Ape And Boss Cat නමිනි. ඇනිමේෂන් ස්ටුඩියෝව සහ ඉලියුෂන් ස්ටුඩියෝව එක්ව ටොප් කැට් නමින් සජීවිකරණ සිනමාපටයක් නිපදවීමට මේ දිනවල සැලසුම් කරමින් සිටියි. Don Gato Y su Pandilla ලෙස නම් කර ඇත. මේ සිනමාපටය පළමුව මැක්සිකෝවේ එළි දැක්වීමට සැලසුම් කර ඇත.
සැප්තැම්බර් මස 16 වැනිදා නිකුත් වූ මේ සජීවිකරණ සිනමාපටය ත්‍රිමාණ මාදිලියෙන් ප්‍රදර්ශනය කිරීමට ද තීරණය කර තිබීම වඩාත් සතුටුදායක කාරණයයි. නවතම සිනමාපටයේදී සම්ප්‍රදායික ටොප් කැට් කතාන්දරයට අලුත් කැබැල්ලක් එකතු කිරීමට එහි අධ්‍යක්ෂකවරු තීරණය කර ඇත. ටොප් කැට් වංචාකාර බිළාලයාට මෙවර හමු වන්නේ අලුත් පොලිස් ලොක්කෙකි.
රටවල් 22 ක භාෂා 22 කින් විකාශනය වූ ටොප් කැට් හට එකී සියලුම රටවලදී වෙනත් සුරතල් නම් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේදී ටොප් කැට් පිස්සු පූසා වූ අතර, බ්‍රසීලයේදී මන්දා චුවා වූ අතර ප්‍රංශයේදී ලි පචා නම් විය. හන්ගේරියාවේදී ටර්පි උර්ෆි ලෙස නම වෙනස් කර ගත් ටොප් කැට් ජපානයේදී ඩොරනෙකෝ ටයිෂෝ විය. සර්බියාවේදී මිකා මැකෝර් වූ අතර රුසියාවේදී සයිනෙප් කොම් විය.
වසර 50 ක් සපුරන ටොප් කැට් කතා මාලාවේ සජීවිකරණ ශිල්පීන්ව අමතක කළ නොහැකිය. කෙනත් මුසේ සහ ජෙරී හැතෝක් මේ බිළාලයන්ට ද්විමාන හැඩතල දුන් අතර ටොප් කැට් ලෙස හඬ කැවීමෙන් සහය වූයේ ආර්නෝල්ඩ් ස්ටැන්ග්ය. ආර්නෝල්ඩ් ගේ හඬ කැවීම් කලාවේ උත්කර්ෂය ටොප් කැට් ලෙස හඳුන්වා දිය හැකිය. ටොප් කැට් හඬ කැවීම මගින් ඔහු උපයා ගත් කීර්තිය ඒ තරමට විශාලය.

4 Comments:

At 20 May 2012 at 20:27 , Blogger The තරුවා said...

මාවත් අතීතයට ඇදිල ගියා...මාත් පට්ට ආසයි ඔය කාටුන් එක බලන්න.තාමත්.

 
At 21 May 2012 at 16:32 , Blogger පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

ඇත්ත තමයි. මමත් අදටත් ඔය කාටුන් එකට කැමතියි

 
At 21 May 2012 at 16:32 , Blogger පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

ඇත්ත තමයි. මමත් අදටත් ඔය කාටුන් එකට කැමතියි

 
At 21 May 2012 at 23:20 , Blogger චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

ගොඩක් ස්තුතියි මේ වටිනා විස්තර ටික පළ කෙරුවට... ආයෙත් පොඩි කාලෙට ගියා... පිස්සු පූසා ආයෙත් බලන්න තියේ නම් ! හැබැයි ටයි මාමගේ සිංහල වර්ෂන් එක !!!

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home