3 Jun 2012

පොසොන් පසළොස්වක පෝය




මහින්දාගමනය

ඒ ක්‍රි.පූ. තුන් වන සියවසයි. අනුරපුර යුගය, දෙවනපෑතිස් රජ සමයයි.විනෝදය පිණිස මුව දඩයමේ යන රජු මිස්සක පව්ව අසලින් මුවකු පසුපස ලුහු බඳී. මිස්සක පව්ව මත කහ වතින් දිලෙන මිහිඳු මහරහතන් වහන්සේය.
මිස්සක පව්ව
“තිස්ස තිස්ස” පව්ව මතින් නැගෙන ශාන්ත හඬකි. රජු නැවතී හැරී බලයි.
“සමණාමයං මහාරාජ .....”
“මහරජ අපි ඔබට අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණි බුද්ධ ශ්‍රාවකයෝ වෙමු.”
රජු අතින් දුනු හී ගිලිහෙයි. මුව පොව්වාගේ දිවි රැකෙයි. අනතුරුව ඉතිහාසයේ අපට හමුවන ප්‍රථම බුද්ධි පරීක්ෂණය ඇරඹෙයි.
´අඹ පැනය`, ´ඥාති පැනය`......

පුළුල් බුද්ධිමය සංවාදයකි. ධර්මාවබෝධ ඥානයෙන් යුතු රජුගෙන් සාර්ථක පිළිතුරු.
පොසොන් සඳ එළියෙන් අප හෙළ - බොදු ලකුණ හෙළි කරවමින් “සුළු ඇත් පද උවම් සුතුර” හෙවත් “චුල්ල හත්ථි පදෝපම සූත්‍ර” දෙසුම ඇරඹෙයි.
ඒ රමණීයවූත්, ශාන්තවූත් පිරිත් ස්වරය සිරිලක ජන හදවත් දම් සිසිලෙන් නහවමින් මිස්සක පව්ව මතින් ගලා යයි.

මහින්දාගමනයෙන් පසු ලංකාව

එතැන් සිට අපේ සංස්කෘතිය, හැදියාව, අධ්‍යාපනය, ජීවන ක්‍රමය, සමාජ රටාව, ආර්ථිකය, පාලන ක්‍රමය මහත් වූ පෙරළියකට ලක් වෙයි. ක්‍රමවත් වෙයි. සුචරිත, සදාචාර සම්පන්න පරමාදර්ශී සමාජයක උපත පොසොන් පොහොයත් සමඟ ආරම්භ වෙයි.
මහින්දාගමනය ලක් වැසි ජනතාවගේ භෞතික හා අධ්‍යාත්මික දිවි පෙවෙත කෙරෙහි අතිශය ප්‍රබල බලපෑමක් ඇති කළේ ඒ අයුරිනි.
“පොසොන් පොහොය” ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ට වෙසක් පොහොය තරම් ම නොඑසේ නම් ඊටත් වැඩි පමණින් වැදගත් වන්නේ එබැවිනි.
ආදි මිනිසා විමුක්තිය අරමුණු කර ගනිමින් විවිධ අදෘශ්‍යමාන බලවේගයන්ට හා විශ්වාසයන්ට නැඹුරු වුවත් ඉන් ඔවුන් ලත් විමුක්තියක් නොමැත්තේය. සැබෑ විමුක්තිය ළඟා කර ගන්නට නිවැරදි දර්ශනයක් හා පැහැදිලි චින්තනයක් අවැසිය.
මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරන්නට පෙර යුගයේ ඇදහිලි පිළිබඳව සළකා බලන කල්හි පෙනී යන්නේ නිවැරදි මඟ නොදැන මං මුළාවූ පිරිසක් ලෙසින් මිනිසුන් ගස්, ගල්, ජලය, සඳ, හිරු, සතුන් ආදිය වන්දනා මාන කළ බවයි.
මේ පිරිසට නිවැරදි මාර්ගය පෙන්වමින් සමාජය වඩා යහපත් එකක් කරනු වස් මිහිඳු හිමියන් අප වෙත පෑ දයානුකම්පාව ඉමහත්ය.
පොසොන් සඳ උදාවත් සමඟින් සිදු වූ මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය මෙරට සමාජ පුනරුදයකට සවිමත් අඩිතාලමක් දැමුවේය යන්න අතිශයෝක්තියක් නොවේ.

බුද්ධි පරීක්ෂණය

ඉතිහාසයේ ප්‍රථම බුද්ධි පරීක්ෂණය අපට හමු වන්නේ කොතැනින් ද? පොසොන් පෝදා මුව දඩයමේ ගිය දෙවනපෑතිස් රජු හා මිහිඳු හිමියන් අතර ඇති වූ සංවාදය අප උගෙන තිබේ. එය රජුගේ ප්‍රඥාව හා බුද්ධිය මැන බලනු වස් කරන ලද අගනා බුද්ධි පරීක්ෂණයක් බව වඩා හොඳින් විමර්ශනය කර බලන්නෙකුට පැහැදිලි වන සත්‍යයකි.

මේ රජතුමා ඉතා සියුම් අවබෝධ ඥානයකින් හෙබි අයෙකු බව හඳුනා ගත් මිහිඳු හිමියෝ ඔහුට දම් දෙසූහ. එසේ දෙසූ ධර්මය ගම් නියම්ගම් පුරා ව්‍යප්තව මිථ්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දෘෂ්ටියට ජනතාව යොමු කරවීමට සමත් විය.

චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද ප්‍රථම බණයි. එය දම්සක් පැවතුම් සූත්‍රය තරම් ම වටනේය. මන්ද සමාජ සුසිරිත් වඩා සම්මත දිවි පෙවෙතකට මෙරට වාසීන් යොමු කරවීමට ඒ දම් සුතුර පාදක වූ බැවිනි.

රජුගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය නොවූයේ නම් මිහිඳු හිමියන්ට මෙම දැවැන්ත පරිවර්තනය කිරීම උගහටය. මන්ද යත් මිසදිටු ජන සමාජයක් එකවරම සමිදිටු ජන සමාජයක් බවට පත් කිරීම අතිශය දුෂ්කර නිසාය.

මෙරට ඒ පරිවර්තනය සිදු කරන්නට මිහිඳු හිමියෝ ඉතා බුද්ධිමත් හා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් දියත් කළහ. මහ වන පෙත් හෙළි කොට ගල්ලෙන් පවිත්‍ර කොට මහාසංඝරත්නය වැඩම කොට ධර්ම දේශනාවන්හි යෙදෙන්නට ධර්ම ප්‍රචාරයෙහි නියැලෙන්නට මං සලසාලන ලදී.

එතැනින් පටන් ගත් සමාජ ශෝධන ක්‍රියාවලිය බොහෝ පුළුල් වී ගල්ලෙන් පරිශ්‍රයන් විහාරාරාම බවට පත් විය. ලක්දිව මහා විහාර බිහිවීම ඇරඹිණි. ගම කේන්ද්‍ර කොට ගත් සංවර්ධනය ඇරඹිණි. මේ අනුව සමාජ, ආර්ථික, ආගමික, සංස්කෘතික හා දේශපාලන ප්‍රගමනයක් ඇති විය. මහාවංශය ඇතුළු පොත පත ලිවීම ආරම්භ වෙමින් පොදු ජනයා වඩ වඩාත් ධර්මය වෙත නැඹුරු කිරීමේ ප්‍රවාහයට පදනම වැටුණි.

වෙහෙර විහාර , මහ දාගැබ් ඉදිවෙමින් සාමාන්‍ය ජනතාව හා සංඝරත්නය අතර සමීප සබැඳියාවක් ඇති විය. “වැවයි දාගැබයි - ගමයි පන්සලයි” යන සංස්කෘතික සංකල්පය බිහි වූයේ එතැන් සිටය.සැඟවී තිබූ සිංහල බෞද්ධ ලකුණ මෙය යැයි අපට පෙනෙන්නට විය. ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කෘෂිකාර්මික ජීවන රටාවකට මිනිසා ක්‍රමයෙන් හුරු විය. බෞද්ධ දර්ශනයෙන් මිනිසා තුළ මානසිකව ඇති වූ සංවර්ධනාත්මක පිබිදීම සංවේදී මිනිස් සමාජය බිහි කිරීමට සමත් විය.

රළු කළු ගලෙකින් අතිශය ගුණ බර කරුණාබර ජීවමය බුදු රුවක් නිර්මාණය කරන්නට තරම් ඒ සංවේදී මිනිසා අධ්‍යාත්මික සංවර්ධනය ළඟා කර ගෙන තිබුණි. ප්‍රතිභාවෙන් යුක්ත මිනිස් අත්වලින්, සංයමය, ඉවසීම පුහුණු කළ සිත්වලින් වඩ වඩා විශිෂ්ට කලා නිර්මාණ බිහි විය.

මෙසේ නව නිර්මාණ කෙරෙහි මිනිසා යොමු වූයේත්, සමාජ සංවර්ධනය උදෙසා වූ නව ප්‍රවේශයකට මිනිසා ගේ විඥානය යොමු වූයේත්, අපට උරුම වූ නව සංස්කෘතිය හේතුවෙන් නොවේද?

සිරිලක පුරා අස්සක් මුල්ලක් නෑර ධර්මය පැතිරවීමට කේන්ද්‍රස්ථානය වූ “මිහින්තලාව” හෙවත් මිස්සක පව්ව අද වන විටත් දෙනෝ දහක් සැදැහැතියන්ගේ උපහාරයට, වන්දනාවට පාත්‍ර වන්නේය. එය එසේ වන්නේ අපට අපේ සිංහල බෞද්ධ ලකුණ හෙළි කර දුන් කේන්ද්‍රස්ථානය එය වූ නිසාමය.

අහස සිඹින මහ දාගැබ්, මහ සයුර පරදවන මහ වැව්, බුදු ගුණ ජීවමානව සටහන් වූ මහ බුදු පිළිම, සරු සාර කෙත් වතු, දම්පද රැගත් පත පොත, අතීතයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල ආදී වූ එකී නොකී මෙකී සියලු දෑ පොසොන් උදාවත්, මහින්දාගමනයත් සමඟින් සිදු වූ ප්‍රාතිහාර්යය දක්වන ජීවමාන සාධකයෝ වෙත්.

රජු දැහැමි විය. රට වැසියන් ද දැහැමි විය. රාජ්‍ය පාලනය ද දැහැමි විය. පොසොන් දර්ශනයෙන් සැබැවින්ම නව ශිෂ්ටාචාරයක් අපට උරුම විය. එය අතිශය ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් යුක්ත විය. මේ සියල්ල අපට උරුම වූයේ බුදු දහමේ ආභාසයෙන් නොවේද?

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home