21 Oct 2012

ලංකාවේ මුහුදු තීරය විසිහත් ගුණයකින් වැඩිවෙයි


ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය වර්ෂ 2018 ත් 2020 අතර කාලය තුළදී විසිහත් ගුණයකින් වැඩිකර ගැනීමට අවස්ථාව සැලසී ඇත.
ඒ අනුව දැනට ශ්‍රී ලංකාවට අයත් වර්ග කිලෝමීටර් 140,000 ක මුහුදු තීරය වර්ග කිලෝමීටර් ලක්ෂ 17 ක් දක්වා ව්‍යාප්තකිරීමට හැකියාව ලැබෙනු ඇත.
ඒ සඳහා වූ මැනුම් කටයුතු පිළිබඳව වාර්තාව දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට බාරදී ඇත.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පිහිටවනු ලැබූ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මුහුදු සම්පත සෑම රටකටම සාධාරණව බෙදිය යුතුය යන නිගමනයට එළඹී ඇත. මේ සඳහා වූ යෝජනාව ප‍්‍රථමයෙන්ම ඉදිරිපත් කර ඇත්තේ මෝල්ටාවේ නියෝජිත ගැලිඩර් ප‍්‍රාඩෝ විසින් හැටේ දශකයේදීය.

මැනුම් කටයුතු අවසන්

මෙම යෝජනාව පිළිබඳව අධ්‍යයනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් විශේෂ කොමිසමක් පිහිටවනු ලැබූ අතර එහි ප‍්‍රථම සභාපතිවරයා වූයේ ආචාර්ය ෂර්ලි අමරසිංහ මහතාය. වර්ෂ 1983 දී සාගර නීති ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක විය. මෙම ප‍්‍රඥප්තියට එකඟවූ රටවල් අතර ශ්‍රී ලංකාවද වෙයි.
එම ප‍්‍රඥප්තියට අනුව සෑම රටකම නාවික සැතපුම් 200 ක මුහුදු ප‍්‍රදේශයේ ජලය හා මුහුදු පතුලට අයත් සියලූ සම්පත් එම රට සතුවේ. මෙම සීමාවෙන් එහා මුහුදු පතුලේ රොන්මඩ තැන්පත් වන තීරය දක්වා වූ අයිතිය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාවෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ගංගා වලින් මුහුදට ගලා යන රොන්මඩ වසර දහස් ගණනක් තිස්සේ රටේ මුහුදු සීමාවට (නාවික සැතපුම් 200) එපිටින් ඝන තට්ටුවක් ලෙසින් තැන්පත්වී ඇත. එහි නිර්මාණයවී ඇති සම්පත් ලබා ගැනීම සඳහා වූ අයිතිය තම රටට අත්කර ගැනීම මෙම යෝජනාවේ අරමුණ වී ඇත.
මෙම යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟතාව දැක්වීම නිසා අදාළ දත්ත ඒකරාශී කිරීමේ අවශ්‍යතාව ඇති විය. එනම් ශ්‍රී ලංකාවේ රොන්මඩ තැන්පත් වූ මුහුදු භූමිය හඳුනා ගැනීමට අවශ්‍ය එම දත්ත ඒකරාශී කිරීමට නැවක් යෙදවිය යුතුවිය. ටෙන්ඩර් මගින් අදාළ නැව ලබා ගැනීමේ කාර්යයෙහි කිසියම් ප‍්‍රමාදයක් වී තිබීම නිසා ඒ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දී ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් අවශ්‍ය නැව ලබාගැනීමට සිදුවී ඇත.
මෙම නැව උපයෝගී කර ගනිමින් මුහුදු සීමාවේ මැනුම් කටයුතු 2007 නොවැම්බර් මාසයේදී අවසන් කිරීමට හැකි විය. මැනුම් කටයුතු අවසන් වී වසරක කාලයක් ගතවී තිබුණත් අදාළ දත්ත ඇතුළත් වාර්තාව සකස් නොකෙරිණි. තම රටේ රොන්මඩ තැන්පත් වූ මුහුදු තීරය ඵල ප‍්‍රයෝජනයට ගැනීමේ අවස්ථාව ලබාදීම සඳහා මෙම දත්ත තොරතුරු ඇතුළත් වාර්තාව 2009 මැයි 13 ට පෙර ඉදිරිපත් කළයුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නියම කර තිබුණත් 2008 නොවැම්බර් මාසය වනතුරුත් ශ්‍රී  ලංකාව අදාළ වාර්තාව සකසා නොතිබිණි.
ඒ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමේදී අනාවරණය වී තිබුණේ මුහුදු පතුලේ තොරතුරු ඇතුළත් දත්ත සැකසීමට යොදා ගත් නෞකාවේ කාර්ය මණ්ඩලය එම දත්ත ලබාදී නොතිබුණ බවයි. අඩුවශයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරියකුට ගාල්ල වරායට ඇතුල්වීමටවත් ඉඩකඩක් නොවීය. ඒ අනුව එවකට වරාය අධිකාරියේ නියෝජ්‍ය සභාපතිවරයා වූ ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතාගේ සහයෝගයෙන් නිලධාරියකුට ගාල්ල වරායට ඇතුලූවී අදාළ නැවට ගොස් අවශ්‍ය දත්ත තොරතුරු ලබා ගැනීමට හැකි විය.
මෙම දත්ත පමණක් ඇතුළත් කර වාර්තා සකස් කළ නොහැකි අතර ඒ සඳහා වූ විශේෂ පරිගණකයක් භාවිත කළ යුතුවෙයි. විද්‍යාත්මක තොරතුරු ඇතුළත් මෘදුකාංග තොරතුරු වාර්තාවක් සකස් කළ යුතු විය. නෝර්වේජියානු රජය මේ සඳහා වූ පරිගණකය ලබාදීමට මුලදී එකඟවී සිටියත් පසුව ඒ සහයෝගය ලබා නොදීමට තීරණය කර තිබිණි.
ඒ නිසා පොදු රාජ්‍ය මණ්ඩලීය සංවර්ධන අරමුදලේ සහායෙන් විශේෂ පරිගණකයක් ලබාගෙන දත්ත යොදා ගනිමින් වාර්තාව සකස් කිරීමේ කටයුතු ආරම්භ විය. ඒ වන විට මෙරටට පැමිණ සිටි විදේශ විශේෂඥයන් අතින් වාර්තාව සම්පූර්ණ වී නොතිබීම නිසා ඔවුන් සියලූමදෙනා ඉවත් කර නවසීලන්තයෙන් විශේෂඥයන් පිරිසක් කැඳවනු ලැබිණි. නවසීලන්ත විශේෂඥයන් මෙරටට ගෙන්වීමට විශේෂ හේතුවක් තිබිණි. එනම් මුහුදු දේශ සීමා දික්කර ගැනීම නවසීලන්තය සාර්ථකව සිදු කර ගත් රටක් වීමයි. කෙසේ වෙතත් වාර්තාව බාරදීමට තිබුණේ දින 36 ක කාලයක් පමණි.
වෙනත් රටවල් ඉදිරිපත් කර තිබූ මෙවැනි වාර්තා, පිටු 400 ක් 500 ක් අතර ප‍්‍රමාණයකින් සකස් කර තිබිණි. ඒ අනුව කාලය ප‍්‍රමාණවත් නොවුණත් ශ්‍රී ලංකාවද එවැනි පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු විය. ඒ සඳහා නීති උපදේශක ක‍්‍රිස්ටෝපර් ප‍්‍රින්ටෝ, ආචාර්ය තන්ත‍්‍රීගොඩ, ආචාර්ය රොහාන් පෙරේරා, බර්නාඞ් ඔක්ස්ටන්, ආචාර්ය එලෆරින්, මහාචාර්ය රේ වුඞ්, ආචාර්ය විජයානන්ද ක‍්‍රිස් ධර්මකීර්ති යන මහත්වරු දිවා රෑ නොබලා පිටු 400 කින් සමන්විත වාර්තාවක් සකස් කළහ.
වාර්තාව සැකසීමේ ලේඛකයා වූයේ ක‍්‍රිස් ධර්මකීර්ති මහතාය. පිටු 400 ක වාර්තාවේ පිටපත් 48 ක් ඉදිරිපත් කළයුතු විය. ක‍්‍රිස් ධර්මරත්න මහතා මේ පිටපත් 48 අතේම රැගෙන නිව්යෝක් බලා ගියේය. උදේ 8.00 ට නිව්යෝක් ගුවන් තොටුපළට ගොස් සිටි ධර්මරත්න මහතා උදේ 11.00 ට එක්සත් ජාතීන් කාර්යාලයට මෙය බාරදීමට නියමිතව තිබුණත් ඒ සඳහා ගුවන්තොටුපළේ සිට යාමට වාහනයක් නොවීය. කුලී රථයකින් අදාළ කාර්යාලයට යන විට වෙලාව පෙ.ව. 10.30 වී තිබිණි.
වාර්තාව බාර දෙන විට ඊට පෙර රටවල් 43 ක් ඔවුන්ගේ මුහුදු සීමා වැඩිකර ගැනීම සඳහා වූ වාර්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයට බාරදී තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකාව 43 වැනි ස්ථානයට යොමු විය. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව දීර්ඝ කිරීම සඳහා වූ තීන්දුව ගැනීමට ඇත්තේ වර්ෂ 2025 දීය. එතරම් කාලයක් ගතවීමට හේතු වූයේ මුහුදු සීමා දීර්ඝ කිරීම සම්බන්ධ තීන්දු ගැනීමට අදාළ කමිටුව වසරකට සුමාන දෙකක් පමණක් රැස්වීමයි.
එතරම් කාලයක් ගතවන විට මෙම යෝජනාවට අදාළ වාර්තාවට සම්බන්ධ වූ ඇතැම් අයගේ මතකය පිළිබඳ ගැටලූ ඇතිවිය හැකිවනු ඇත. ඒ නිසා මෙතරම් දීර්ඝ කාලයක් නොගෙන අදාළ වාර්තා අනුමත කිරීම සඳහා වූ කමිටුව මාස 6 කට වරක් රැස්විය යුතු බවට ශ්‍රී ලංකාව යළි යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. ඒ වර්ෂ 2009 දීය. යෝජනාවට පක්ෂව රටවල් 120 ක් ඡන්දය පාවිච්චි කර තිබූ අතර යෝජනාව අනුමත විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා යෝජනාව පිළිගෙන තිබිණි.
මේ වන විට රටවල් 42 ක පෝලිම දැන් රටවල් 28 දක්වා අඩුවී ඇත. ඒ අනුව වර්ෂ 2018 ත් 2020 ත් අතර කාලය තුළදී ශ්‍රී ලංකාවේ මුහුදු තීරය කිලෝමීටර් ලක්ෂ 17 කින් දිර්ඝ කර ගැනීමට හැකි වෙතැයි විශ්වාස කෙරේ.
එතෙක් ශ්‍රී ලංකාවට අභියෝග කීපයක් ඇත. එනම් සාගර නීතිය පිළිබඳව ගැටලූ නිරාකරණය කර ගැනීමට හා පැහැදිලි කිරීමට හැකියාව ඇති පුද්ගලයන් සංඛ්‍යාව තිදෙනෙකි. දැනට ජීවත්ව සිටින වයෝවෘද්ධ වූ මෙම විශේෂඥයන් තිදෙනාගේ මතය ලේඛන ගත කළයුතුව ඇත. එසේ නොමැතිව අදාළ නීතිය පිළිබඳව ඇතිවිය හැකි වාද භේදවලට පිළිතුරු දීමට තරම් වෙනත් අයෙක් නොමැතිවීම බරපතළ අර්බුදයක් විය හැකි බව ශ්‍රී ලංකාවේ මතය වී ඇත. ඒ සඳහා ඒකාබද්ධ සමුළුවක් පැවැත්වීමට දැනට යෝජනා කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුමැතිය ලැබී ඇත.
මෙම සමුළුවට සහභාගි වීම සඳහා ජර්මනියේ පිහිටි සාගරය පිළිබඳ කරුණු වලට අදාළ අධිකරණයේ විනිසුරුවන්, ජැමෙයිකාවේ පිහිටි ජාත්‍යන්තර මුහුදු පතුල විමර්ශනය සඳහා වූ ආයතනයේ නියෝජිතයන් ඇතුලූව සාගරය පිළිබඳව විශේෂ වූ දේශීය හා විදේශීය නියෝජිතයන් සහභාගී කරවා ගැනීමට නියමිතව ඇත.
මෙම සමුළුව ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණත් එය සිදු නොවුණි. එබැවින් ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ මෙම සමුළුව පැවැත්වීමට යෝජිතව ඇත.
මේ සඳහා අවශ්‍ය මුදල් විදේශ අමාත්‍යංශ වැය ශීර්ෂයෙන් ලබාගත යුතුව ඇත. එයට එකඟතාවක් නොමැති නම් අමාත්‍ය මණ්ඩලයේ තවත් දුර්වලතාවක් නම් මුහුදු පතුලේ සම්පත් ගැන උනන්දුව අඩුවීමයි. ඒ පිළිබඳව විශේෂඥයන් නොවීමයි.
දැනට රොන්මඩ ගැන සෙවීමේ තාක්ෂණය කිරණ සංකලනය පිළිබඳ දැනුම ඇති විශේෂඥයන් සංඛ්‍යාව දෙදෙනෙකි. මුහුදු පතුලේ භූවිද්‍යාව පිළිබඳව ඇති අවබෝධය ඇති එක් විශේෂඥයෙක් පමණක් සිටී. ඒ හැර මුහුදු පතුලේ සම්පත් පිළිබඳව විශ්ව විද්‍යාල පාඨමාලාවක් හෝ නොපැවැත්වීම බරපතළ පාඩුවකි.
මීට අමතරව ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව ඉන්දියාවේ හා මියන්මාරයේ සීමා දක්වා ව්‍යාප්තවීම නිසා සම්පත් බෙදා ගැනීමේ ආරවුල් ඇතිවිය හැකිය. සීමා නිර්ණය කර ගැනීම වෙනුවට, සම්පත් රටවල් තුළ බෙදා වෙන්කර ගැනීම සුදුසු බව ශ්‍රී ලාංකික නියෝජිතයන්ගේ අදහසවී ඇත.
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව පුළුල්වීමෙන් ඇතැම් ස්ථාන කිලෝමීටර් 800 ක් දක්වා දුරට විහිදේ. රොන්මඩ මුදල් ලැබිය යුතුය. රජය මුදල් වෙන් කිරීමට එකඟතාව දක්වා ඇති අතර එම මුදල් විදේශ අමාත්‍යංශය මගින්ම ලබාගැනීමට සිදුවී ඇත.
මෙම සමුළුවෙන් බලාපොරොත්තු වන්නේ සාගර නීති ප‍්‍රඥප්තියට අදාළව පවත්නා ගැටලූවලට විසඳුම් ලබා ගැනීම සඳහා එම ප‍්‍රඥප්තිය සකස් කිරීමට මූලික වූ අයගේ හඬ පටිගත කිරීම වීඩියෝ කිරීම හා වාචික සාක්ෂි සටහන් කිරීමයි.
රොන්මඩ තට්ටුවේ ඝණකම කිලෝමීටර් 20 ක් පමණ ගැඹුරකින් යුතුයි. මෙම රොන්මඩ තට්ටුවේ අනාගතයට යොදා ගන්නා ඉතා වටිනා ඛනිජ සම්පත් පිරී ඇති බව අනාවරණය වී ඇත. ගෑස්, ඛනිජ වැලි, ඛනිජ තෙල් යනාදියට අමතරව ඉතා ඉහළ මිල ගණන් වලින් යුතු බෙහෙත් වර්ග සකස් කිරීමට ගන්නා සිටර්ම්ස් නමැති ද්‍රව්‍ය සහ පරිගණක, ඉලෙක්ට්‍රොනික නිර්මාණයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙම රොන් මඩ තට්ටුවෙන් නිර්මාණය වී ඇත.
බෙංගාල ද්‍රෝණියේ පිහිටි ඉන්ධන නිධිය වසර ගණනාවකට සෑහෙන බව අනාවරණය වී ඇත. දැනට භාවිතයට ගන්නා ඉන්ධන 2050 දී අවසන් වන නිසා එතැන් සිට අවශ්‍ය ඉන්ධන බෙංගාල ද්‍රෝණියෙන් ලබා ගත හැකි බව විද්‍යාඥයන්ගේ අදහස වී ඇත.
අපේ රටේ අනාගත පරපුරට අවශ්‍ය ත‍්‍රිලියන ගණනක වටිනාකම ඇති සම්පත් මෙම රොන්මඩ නිධියේ තැන්පත්ව ඇති බව විශ්වාස කෙරේ.
මෙම රොන්මඩ නිධිය හිමිකර ගැනීම අනාගතයේ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවකට හිමිකම් කීමකි.
මෙම ලිපිය සකස් කිරීමට සහාය වූ උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ක‍්‍රිස් ධර්මකීර්ති මහතාට සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයානන්ද මහතාට ස්තුතිය.
දයාසීලි ලියනගේ

6 Comments:

At 21 October 2012 at 20:40 , Anonymous Anonymous said...

good one

 
At 21 October 2012 at 20:44 , Blogger Pathum Herath said...

කවදාවත් නොදැන සිටි.. නොසිතූ පැත්තක් ගැන වටින විස්තරයක්.. ලිපිය ලබාදීම ගැන ස්තූතියි..

 
At 22 October 2012 at 10:51 , Blogger Unknown said...

ඕක කොච්චර හොඳ වුනත් වැඩ නෑ. රටේ දේශපාලකයෝ හූරගෙන කනවනම්

 
At 22 October 2012 at 14:56 , Anonymous Anonymous said...

ස්තුතියි විස්තරයට! ජය!

 
At 22 October 2012 at 15:25 , Blogger චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

ස්තුතියි සහෝ මේ දැනුවත් කිරීමට. සෑහෙන්න හො‍් විස්තරයක්... ජය !!!

 
At 24 October 2012 at 08:31 , Blogger neel said...

වැදගත් තොරතුරැ ටිකක් ආසාවෙන් කියෙවූවා.

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home