13 Apr 2012

මනස එක්ක සෙල්ලම් කරන්න


මනසට ඔබ හා සෙල්ලම් කරන්නට ඉඩ නොදී ඔබට මනස එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් එන යෙදුම “my mind is playing games” යන්නෙන් අදහස් වෙන්නෙ අපේ මනස අපිව රවටන එකට. වතුර පිරි වීදුරුවක හැන්දක් දැම්මාම වතුර මට්ටමේ දී හැන්ද කැඩිලා වගේ පෙන්නුම් කරන්නෙ මනස කරන සෙල්ලමක්. ඒක ඇත්ත ඇති සැටිය නෙමෙයි. අතින් අත ගාලා බලද්දී හැන්ද කැඩිලා නැහැ. ඒත් ඇස් වලින් පේන්නෙ හැන්ද කැඩිලා වගේ. හැන්ද එළියට අරගෙන බැලුවාම, හැන්ද වතුරේ තිබිය දී අතගාලා ඔප්පු කරගත්තාට, කොච්චර හිත දන්නවා වුනත් හැන්ද කැඩී නැතැයි කියා ඇස් එය පිළිගන්නේ නැහැ!!! මේ රශ්මි වක්‍රීකරණය (refraction) හා පරාවර්තකය (reflection) ගැන පාඩමක් නෙමෙයි. මනස එහෙම දකින එක ගැන විමසීම.
පොකුණක වතුර යට ඉන්නා මාළුවෝ ලොකුවට පේනවා. වීදුරුවක ඇති එක කාසිය වෙනුවට කාසි තුනක් තුන් ප්‍රමාණයකින් පේනවා. පාට ඇඳිරිය නැති අයට පාට හතකින් දේදුන්නක් පේනවා!!! මනස අපිව රවටන බව අපි විද්‍යාත්මක පැහැදිලි කිරීමෙන් වටහා ගන්නවා.
අපේ මතකයන් ද බොහෝ විට සිද්ධිය හා සත්‍ය වූවන් නොවේ. අපි ආවේගයෙන් අල්ලා ගන්නා මතකය සත්‍යයෙන් සිද්ධ වූ සිදුවීමට වඩා වෙනස් වෙන්නෙ ඒ එක්ක මනස සෙල්ලම් කරපු නිසා. යම් සිත කළඹන සිද්ධියක දී මැරවරයා අත වූ තුවක්කුව දැක බිය වූ අයෙකු ඒක ලොකු තුවක්කුවක් කියා සාක්ෂි දෙනවා. ඒත් තුවක්කු ගැන දන්නා අයෙක් ඒක වෝල්තර් පී22 කියා හඳුනා ගන්නවා. උසාවියක නඩුවක් අහද්දී ඒ සිද්ධිය ගැන පසුබිම වැදගත් මේ නිසා. වැරදිකරුවෙක් යැයි නිශ්චය කරන්න කළින් සාක්ෂි දෙන අයගේ මතකයන් ඔවුන්ගේ මනස රවටා ඇත්දැයි විමසීම නඩුවේ එක කාර්යයක්. මට අම්මා ආදරේ නෑ, මට තාත්තා ආදරේ නෑ කියන අයෙක්ගේ මතකයන් බොහෝ අවස්ථාවන් හි දී ආදරේ නොදැක්වූ සිද්ධියන් වැඩියෙන් මතකයේ අල්ලා ගන්නත් ආදරේ දැක් වූ සිද්ධියන් ඉතා වෙහෙසකින් මතක් කරගත යුතු සිද්ධියන් බවටත් හරවන්න මනස සෙල්ලම් කරලා තියෙනවා.
වතුර තියන වීදුරුවේ බහා ලූ හැන්ද කැඩී නැතැයි දැනගන්නට හැන්ද අත ගාලා බලන්න පුළුවන්. විද්‍යාත්මක පැහැදිලි කිරීම ගැන ඉගෙන ගත්තාම කැඩී නැතැයි ද එහෙම පෙනෙන්නේ මන්දැයි ද තවත් තහවුරු වෙනවා. ඒත් තාම පේන්නෙ කැඩිච්ච විදියට තමයි.
අපේ සිත්වල අපි අල්ලා ගෙන ඉන්නා අදහස් බොහොමයක් ද එහෙමයි. මනස සෙල්ලම් කරන අවස්ථා හඳුනා ගන්න පුළුවන් වුනාම එහෙම පෙනුනට ඒක එහෙම නොවන බව වටහා ගන්න පුළුවන්. එතකොට මනසට පමණක් සෙල්ලම් කරන්න ඉඩ දීලා ඉන්නෙ නැතිව මනස එක්ක සෙල්ලම් කරන්න පුළුවන්.
මේ ලෝකයේ අපි හැම දෙයක් ම කරන්නෙ හේතු දෙකක් නිසා. එකක්, අපිට ඕන නිසා. අනික අපි කළ යුතු නිසා. අපි කළ යුතු දේවල් අපිට ඕන දේවල් කරගත්තාම … එතකොට තමයි ජීවිතය වඩාත් රසවත් වෙන්නෙ.
අපි මුහුණ දෙන සිද්ධීන් අපේ දැකීම වෙනස් කරනවා. මේවායේ දී මනස අපිව රවටනවා ද නැත්නම් අපි සත්‍ය තත්වය අවබෝධයට උත්සාහයක් ගන්නවා ද කියා වටහා ගන්න හැකියාව ලැබෙන්නේ මනසට සෙල්ලම් කරන්න නොදී මනස එක්ක සෙල්ලම් කරන්න පුරුදු වුනාම.
හිත කළඹන යම් සිද්ධියක් ඉදිරියේ දී මෙන් ම සිත උද්දාමයට පත් කරවන සිද්ධියක දී ද, (ටෙනිස් ක්ලබ් එකේ ශූරතාවය දිනාගත් දවසේ!!) මනසට තමන්ව රවටන්නට ඉඩ නොදෙන්න අවදියෙන් ඉන්න ඕනා. දුක හිතෙන අවස්ථාවක දී ඍනාත්මක ආවේගය නතර කරන්න බැහැ. එය දැකීම නතර කරන්න බැහැ. ඒත් දැකීම අවබෝධ කරගන්න පුළුවන්. එහෙම තත්වයක් ඇති වී ඇත්තේ ඇයි යන්න හඳුනාගන්න වෑයමක් ගැනීමයි මනස එක්ක කරන සෙල්ලම.
අනුන්ගේ දුක් ගැනවිලි ගැන හිතන්න ගිහින් තමන්ගෙ වැඩ අතපසු කරගන්නා අය ගැන අහලා ඇතිනෙ. ඒ මනසට තමන් රවටන්න ඉඩ දුන්නම වෙන දේවල්. ඒකෙන් තමන්ටත් අනුන්ටත් ඵලක් නැහැ. තමන්ගෙ දුක් ගැනවිලි ගැන වුනත් එහෙමයි. හිත හිතා දුක් වුනාට වැඩක් නැහැ. කරන්න ඇති දේවල් සොයාගෙන ඒවා කරන්න ඕනා.
සිත උද්දාමයට පත් කරවන සිද්ධියක දී, තියුණු සටනක් වැදී අත්පත් කරගත් ජයක්, එය ඇති සැටියෙන් මිසක් අත්‍යාලංකාරයෙන් අගය වැඩි කර රසවිඳීම මනස රවටා ගැනීමක්. එයින් මතකයේ තැන්පත් කරන්නේ තමන්ට නොතිබි දක්ෂතාවයක් හෝ නොතිබි වාතාවරණයක් ගැන වූ ආවේගය මුල්කර ගත් මනසේ රැවටිල්ලක්. එවැනි අවස්ථාවක දී ජය අත්පත් වූ විගස, අනාගතයේ නැවත ඒ ජය මතක් කරගෙන සතුටු වන්නට හා එයින් උද්දාමයක් ඇති කරගන්නට හැකියාව ලැබෙන්නේ ඒ ගැන ඇති සැටියෙන් හනිකට මතකයේ ධාරණය කරගන්නට මනසට ආධාර දීම නිසා.
ජීවිත සටනේ දී දොම්නස් සිද්ධියක දී එය මතකයෙන් අල්ලා ගන්නට ආවේගයට පමණක් ඉඩ දෙන්න එපා. සිද්ධිය විචාරන්න. දොම්නස කුමකින් දැයි වටහා ගන්න. එසේම තියුණු සටනකින් දිනුම ලැබූ අවස්ථාවක් අල්ලා මතකයක් සේ තියාගන්න හැකියාව ලැබෙන්නෙ එය හඳුනාගන්න සිත පුහුණු කරගත්තාම. එහෙම ලැබෙන්නෙ මනසට තමන් එක්ක සෙල්ලම් කරන්න ඉඩ දීලා බලා ඉන්නෙ නැතිව මනස එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තාම.

Labels:

1 Comments:

At 14 April 2012 at 12:14 , Anonymous Anonymous said...

අනුන්ගේ දුක් ගැනවිලි ගැන හිතන්න ගිහින් තමන්ගෙ වැඩ අතපසු කරගන්නා අය ගැන අහලා ඇතිනෙ. ඒ මනසට තමන් රවටන්න ඉඩ දුන්නම වෙන දේවල්. ඒකෙන් තමන්ටත් අනුන්ටත් ඵලක් නැහැ. තමන්ගෙ දුක් ගැනවිලි ගැන වුනත් එහෙමයි.

අලුත් අවුරුද්දේ ලැබුන හොඳම උපදේශය...

ස්තූතියි.

ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් පතමි.

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home