කොත්මලේ ජලාශ පතුලේ සැඟැවුණු පැරැණි පුදබිම්
කොත්මලේ ජලාශය සිඳී පැරැණි බුදු පිළිම යළි මතුවෙලා. දිනපතා ප්‍රවෘත්ති පත්‍රයක පළවී
තිබුණු මේ පුවත දුටු සැණින් ඒ පිළිබඳව විශේෂාංගයක් සකස් කිරීමට යමු යැයි යෝජනාවක්
ගෙනාවේ සුදම්.
කඩදොර පන්සල
|
නිහාල් .පී. අබේසිංහ සොයුරා කොත්මලේ මහවැලි කාර්යාලයට කතා කොට ගමනට අවශ්‍ය පසුබිම
සකස් කර දුන්නා. ඒ අනුව අප කොළඹින් පිටත්වුණේ හිමිදිරි පාන්දරම. පෙරවරු 9.00 පමණ
වන විට කොත්මලේ මහවැලි කාර්යාලයට ළඟාවුණු අප එහි සිවිල් ඉංජිනේරු ආනන්ද කුලරත්න
මහතා මුණ ගැසුණේ ජලාශයට ගොස් තොරතුරු ලබා ගන්නට අවශ්‍ය පහසුකම් ඔහු සූදානම් කර
තිබුණු නිසාවෙන්.
කොත්මලේ වේල්ල බාරව සිටින තාක්‍ෂණ නිලධාරී (TO) ආර්.ඩබ්ලිව්.එම් ජයතිලක මහතා ඒ වන
විටත් සිටියේ අප බලාපොරොත්තුවෙන්.
ඉතාමත් සුහදව අපව පිළිගත් ඔහු පළමුව අපට වේල්ල පිළිබඳවත් ජලාශයේ වැදගත්කම පිළිබඳව
ඉතා වටිනා තොරතුරු ඉදිරිපත් කළා.
“තිස්පනේ කන්ද සහ කඩදොර කන්ද අතරින් ගලාගිය කොත්මලේ ඔය නිසා මේ ප්‍රදේශයේ පැවතියේ
අසීමිත සශ්‍රීක බවක්. මේ නිසා ගොවිතැනට ඉතාමත් සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබුණු
අතර පෙර රජ දවස ගොවිතැන කුඹල් කර්මාන්තය, වඩු කර්මාන්තය, රන් කර්මාන්තය, ධීවර
කර්මාන්තය වැනි විවිධ වෘත්තීන්හි නියැලුණු මිනිසුන් ගෙන් පිරුණු ගම්මාන බිහිවී මේ
ප්‍රදේශයේ ජනාවාස බවට පත්වුණා.
පිදුරු තලාගල ඔය, නානු ඔය, ග්‍රෙගරි වැව වැනි ඔයවල් ඔස්සේ ජලය ගලා විත් ප්‍රසිද්ධ
දිය ඇලි වන ඩෙවෝන් ඇල්ල, සෙන්ක්ලෙයාර් ඇල්ලත්, පූන ඔය ඔස්සේ ගලාවිත් රම්බොඩ ඇල්ල,
පූන ඇල්ල සහ ගැරැඬි ඇල්ලත් නිර්මාණය කරමින් කොත්මලා ඔයට ජලය සපයනවා.
මේ ජලය අතීතයේ දී කෙළිින්ම බැස ගියේ මහවැලි ගඟට. වර්ෂාව අධික කාලයට කොත්මලා ඔය
ඔස්සේ යෝධ ජල කඳක් බැස ගිය අතර, ගම්මාන, නගර රැසක්ම ගංවතුරෙන් යටවී යාම සිදුවුණා.
වේල්ල තැනීමට පෙර ගංවතුර ගැලූ උස ප්‍රමාණය අදටත් ගම්පොළ දුම්රිය පොළේ බිත්ති වල
සටහන් වී තිබෙනවා.
1950 ගණන් වල සිටම මීට පිළියමක් ලෙස මෙම වේල්ල තැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබූ අතර
කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයට අනුව 1979 මෙහි වැඩකටයුතු ආරම්භ කර 1986 වසරේ විවෘත කර
තිබෙනවා.
ඈතින් පෙනෙන මහවැලි මහා සෑය
|
එවකට මහවැලි ඇමැතිව සිටි ගාමිණී දිසානායක මහතාගේ මූලිකත්වයෙන් මෙහි වැඩකටයුතු සිදු
කළ නිසාවෙන් මෙය හැඳින් වෙන්නේ ඔහුගේ නමින්.
ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදෙස් කාර්යාංශයේ (CECB) අධීක්‍ෂණ යටතේ ස්වීඩ්න්
ආයතනයක් විසින් වේල්ලේ ඉදිකිරීම් සිදුකර තිබෙනවා.
අහසින් වැටෙන එක ජල බිඳුවක් හෝ අපතේ නොයවා රැස්කර ගොවිතැනට යොදා ගන්නට එදා රජවරු
ක්‍රියා කළා සේ, කොත්මලා ජලාශය තැනීමේ මූලික පරමාර්ථය වී ඇත්තේ ද කෘෂි කර්මාන්තය
සඳහා ජලය රැස්කර තබා ගැනීමයි.
ඒ සමඟම විදුලිය නිපදවීම, ගංවතුර නැවැත්වීම වැනි ප්‍රයෝජන ද ප්‍රධානයි.
මෙය සාම්ප්‍රදායික නොවන වේල්ලක්. කළුගල් අඩියක් අඟලකට තලා තනා ඇති මෙහි ජලාශය
පැත්තේ සෙමී 50 ක ඝනකමැති කොන්ක්‍රීට් තට්ටුවකින් සවිමත් කර තිබෙනවා.
සම්පූර්ණයෙන්ම පිරී ගිය විට ජලය ඝන මීටර් දශලක්‍ෂ 174 ක ධාරිතාවක් ඇති අතර ජලය ඝන
මීටර් දශ ලක්‍ෂ 665 ප්‍රමාණය තෙක් විදුලිය නිපදවීම සිදු කළ හැකියි.
පාවිච්චියට
ගන්නට බැරි කොටස ඝන මීටර් 24 ක්. එම ජලය අවශ්‍ය වුවහොත් ඉවත් කරන්නට හැකි මඩ
සොරොව්වක් ද තිබෙනවා.
ජාතික විදුලි බල පද්ධතියට සෑහෙන දායකත්වයක් ලබා දෙමින් මෙගාවොට් 201 ක විදුලියක්
මෙයින් නිපද විය හැකියි. විදුලිය නිපදවීමේදී ජලය කිලෝ මීටර් 7 1/4 ක දිගට උමඟක්
ඔස්සේ අටබාගේ ප්‍රදේශයේ පිහිටා ඇති බලාගාරයේ ටර්බයින වෙත ගෙන යනවා. ගොඩ බිමින් නම්
එම දුර ප්‍රමාණය කිලෝමීටර් 15 ක් පමණ.
කොත්මලේ ජලාශය
|
මේ විස්තර කරන අතරේ ජයතිලක මහතා අප ජලාශයේ ජලය රඳවා තබා ගන්නා යෝධ වාන් දොරටු
පාමුලට කැඳවා ගෙන යනවා.
ජල මට්ටම අඩුවී ඇති නිසා පමණක් යා හැකි මේ ස්ථානයට යාමට
ලැබීම අතිශයින් විරල අත්දැකීමක්. වරකට ජලය තත්පරයකට ඝන මීටර් 5500 ක් මේ එක්
දොරටුවකින් මුදැ හැරිය හැකි අතර එසේ මුදා හැරෙන ජලය කිලෝ මීටර් 10 ක පමණ දුරක් ගොස්
මහවැලි ගඟට එකතු වනවා.
අපගේ ගමනේ මූලික පරමාර්ථය ඉටුවන වෙලාව ඇවිත්. ජලාශයට යටවුණු පන්සල් දැක බලා ගන්නට
අප රැගෙන යායුතු බෝට්ටුව සූදානම්.
Yamaha Enduro එන්ජිමක් යෙදූ ෆයිබර් බෝට්ටුවේ
රියැදුරා මාපලගමත් සහායක කිරිබණ්ඩාත් ජයතිලක මහතාත ඉංජිනේරු සහකාර හෙට්ටිආරච්චි
මහතාත් වසන්ත සුදම් අපගේ රියැදුරු පොල්ගම්පොල සහ මම අපගේ පිරිසට අයත්. බෝට්ටුවට
නැගීමට වේල්ල අසලින් ජලාශයේ පහළට බැස යා යුතුයි. ඒ ජල මට්ටම අඩුවී ඇති නිසාවෙන්.
”ජලාශය සම්පූර්ණයෙන් පිරුණාම මට්ටම තමයි මේ” ජයතිලක මහතා ස්ථානයක් පෙන්වනවා. එය
මුහුදු මට්ටමේ සිට මීටර් 703 ක්. ජලයෙන් යටවුණු පන්සල් මතු වන්නේ මීටර් 670 පමණ
තෙක් ජලය අඩුවුණු පසුවයි.
”මේ ගම්මාන ගැන විස්තර දැනගන්න හොඳම කෙනා තමයි කිරිබණ්ඩා. එයා පදිංචි වෙලා ඉන්නේ
වේල්ලට පහළ ගමක.”
ජීවිතාරක්‍ෂක කබා හැඳගත් පසු අප රැගත් බෝට්ටුව ගමන් ඇරැඹුවා. වෙලාව මධ්‍යාහන දොළහට
ආසන්න වුණත් උඩින් යොදා ඇති ටෙන්ට් වහලය නිසාත් කැළතෙන ජලයේ සිසිලසත් නිසාවෙන් අව්
රශ්මිය නොදැනීම සහනයක්.
ඕතලාව පන්සල
|
මේ ජලාශයට මෝටර් මගින් ධාවනය වන බෝට්ටු දැමීමේ අයිතිය ඇත්තේ මහවැලි අධිකාරියටත්
වේල්ලේ ආරක්‍ෂාවට සිටින නාවික හමුදාවටත් පමණයි.
ගමන ආරම්භ කර ටික දුරකදී ධීවරයකුගේ
දැලක් පැටලීමෙන් අපේ ගමන පැයක් පමණ ප්‍රමාද වුණා. ධීවර ජනතාවට මෙහි ධීවර කටයුතුවල
යෙදීමට අවසර ඇතත් පෙරවරු 6.00 සිට සවස 6 තෙක් ජලාශය හරහා දැල් එළීම තහනම්.
ගමන ආරම්භයේ සිට විනාඩි 15 ක පමණ ගමනකින් පසු පළමු පන්සල දිස්වන අතර ප්‍රමාදය
නිසාවෙන් සෑහෙන ඉවසීමකින් ඉන්නට සිදුවුණා.
”අර පේන පන්සල මොකක්ද?”
අපේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ජයතිලක මහතා.
“මේ කොත්මලා ඔය දෙපැත්තේ තියෙන කඩදොර කන්දත් තිස්පනේ කන්දත් පාමුල ගම්මාන 57 ක්
ජලයෙන් යටවෙලා තිබෙනවා. ඒ ගම්මාන ආශි‍්‍රතව තිබුණු පන්සල් 54 ක් ඒ සමඟම ජලයෙන්
යටවෙලා.
අපට ඉස්සෙල්ලාම පේන්න තියෙන පන්සල කඩදොර පන්සල. ජලාශය පිරුණාම යටවුණු මේ
පන්සල මේ වසර 25 පුරාවටම දෙතුන් සැරයකට වඩා මතුවෙලා නෑ.”
පුරාණ නම් පොතෙහි (විහාර අස්න) පවා සඳහන්ව ඇති වසර දහස් ගණනක් පමණ පැරැණි යැයි
සිතිය හැකි කඩදොර පන්සලේ බණ මඩුව, වෙහෙර ඇතුළු අනෙකුත් ගොඩනැගිලි කැඩී බිඳී ගොස්
ජලයට සේදී කළුගල් පමණක් ඉතිරි වී ඇති අතර බුදු පිළිමය මල් ආසනය සහ දේව පිළිම තවමත්
ඉතිරි වෙලා. බුදුගෙට ඇතුළුවන ස්ථානයේ මකර තොරණේ් අඹා ඇති පිළිම ද දියවී යන්නට
ආසන්නයේ.
ජලාශයේ පිටාර මට්ටම
|
මෙලොව කිසිම දෙයක් නිත්‍ය නොවන බවත් සියල්ල අනිත්‍ය බවත් පෙන්වා දෙමින් බුදු හිමි
දෙසූ වදන් සත්‍ය බවට මේ හොඳම සාක්‍ෂියකි.
”අවුරුදු 5 කට විතර පස්සෙ තමයි මේ සැරේ මේවා මතු වුණේ. දවසින් දවස වතුරට හේදිලා
දියවෙලා ගිහින් තව අවුරුදු 25 කින් තිහකින් මේවා තිබුණු තැනක් වත් හොයා ගන්න
බැරිවේවි.
” ජයතිලක මහතා බුදු පිළිම දෙස බලමින් පවසනවා. ඈතින් පෙනෙන කිකිළියාමාන
කන්දට යාවුණු නුවරඑළිය රම්බොඩ කඳු පෙළ මවන්නේ නෙත් වශීකරන දර්ශනයක්.
ඉන්පසු යළිත් අප බෝට්ටුවට නැගුණේ කිලෝ මීටරයක පමණ ඈතින් එහා ඉවුරේ පිහිටි අනෙක්
පන්සලට යාමට.”
”මේ ගම තිස්පනේ. පන්සලට කියන්නෙ තිස්පනේ මැද්දේගම පන්සල කියලා. ඉස්සර මේ කිට්ටුව
පාලමක් තිබිල තියෙනවා. අර ඈතට ඈතට යන ගල් අතුරලා හදලා තියෙන්නෙ මිනිස්සුන් එහා මෙහා
ගිය පාරවල්. ඉස්සර මේවා හැඳින්වුණේ ගම්සභා පාරවල් කියා.” කිරිබණ්ඩා විස්තර කර
දෙනවා.
තිස්පනේ පන්සලේ සෙසු ගොඩනැගිලි බුදු ගෙවල් ජලයෙන් දියවී ගොස් දැනට ඉතිරිව ඇත්තේ
චෛත්‍යය පමණකි. එයද අසලට ළං වීමට නොහැකි වන තරමට යෝධ නිදිකුම්බා ගස් වලින් වැසී
ගොසින්. ඉතා අමාරුවෙන් කටුවලින් බේරෙමින් එහි පිටුපසට ළඟා වු අපට ජයතිලක මහතා
පෙන්වූයේ අපූරු දර්ශනයක්.
”මේ චෛත්‍යය පවා නිදන් හොරුන්ගෙන් බේරිලා නෑ වගේ. අර මැද හාරලා තියෙන්නෙ චෛත්‍යය
හදනකොට තැන්පත් කරපු මොනවා හරි වෙන්නැති” චෛත්‍යයේ වටේම අඹා ඇති සිංහ පූට්ටුව,
ලියවැල් තවමත් ඉතා පැහැදිලිව දක්නට ලැබීමත් භාග්‍යයක්.
ඉන්පසු යළිත් අපි ඉක්මනින් ගමන් ඇරැඹුවේ තව සෑහෙන දුරක් යායුතු නිසාවෙන්.
”මේ ආශි‍්‍රතව තිබුණු ගම්මානවල 70 දශකය පමණ වන තුරුම පැවතුණේ වැඩවසම් ජීවන
ක්‍රමයක්. මේවායේ තිබුණු කුඹුරු ඉඩකඩම් වැඩි ප්‍රමාණයක් අයිති වී තිබුණේ වළව්
කිහිපයකට.
වලව්වල ඉඩම්, කුඹුරු අඳේට වැඩකරන ගොවියෝ අස්වැන්න කපලා පාගනවිට කංකානම
එනවා. ඔහුට සලකලා කන්න බොන්න දීලා වී ටික අරගෙන ගිහින් වලව්වේ අටුවටම දාන්න ඕන.
මැද්දෙගම පන්සලේ චෛත්‍යය
|
මේ ජලාශය නිසා ඒ හැම දෙනාටම ඉඩම් අක්කර 3 ක් ලැබුණා. ඉතින් තමන්ට කියලා ඉඩමක්
නොතිබුණු සෙනඟ ඉතාමත් කැමැත්තෙන් මේවායින් ඉවත්වෙලා ගිහින් තියෙනවා.
වේල්ල ආසන්නයේ
කිසිවකුට පදිංචියට හෝ ධීවර කටයුතු සඳහා අවසර නැතත්, වේල්ලෙන් ඈතට වන්නට ධීවර කටයුතු
වලට අවසර තිබෙනවා.
ජලාශයට යටවුණු පන්සල් වලින් බෝට්ටුවේ යනකොට පේන තවත් පන්සලකි. පුසුල් පිටිය රජ මහා
විහාරය. එහි ළඟාවීම දුෂ්කර වන්නේ එය ඈතින් පිහිටා ඇති නිසාවෙන්.
එහෙත් ජලාශයේ
කෙළවරේ කොත්මලා ඔයත් රම්බොඩ ඇල්ලත් එකතුවන ස්ථානයේ (වෙන්වුවර්) ඇති ඕතලාව පන්සලේ
බුදු පිළිමයත් අරටුව පමණක් ඉතිරි වී සැකිල්ලක් බවට පත්වුණු බෝ ගසත් දැක ගත හැකියි.
අධික මඩ නිසාවෙන් එම ස්ථානයට බැස යා නොහැකි නමුත් සුදම්ගේ කැමරාවේ මේ සියල්ල සටහන්
වෙනවා. අතීතයේ තවලම් තැන්න හරහා නුවරඑළිය තෙක් මාර්ගයත් ටොන් 350 කට වඩා බර වාහන යා
හැකිව තිබූ පාලමත් මතුවෙලා. වැසි කාලයට ජලයෙන් යටවී යන මාර්ගයේ ට්‍රක් රථයක් යන
අයුරු කැමරාවේ සටහන් වනවා.
හෝරා ගණනාවක් ගතවුණු මේ චාරිකාවේ නෙත් සැනසු දසුන් අපමණයි. ජලය සිඳී ක්‍රමයෙන්
අඩුවන විට කඳු වල පස් දිය වීම නිසා මැවී තිබූ අපූරු රටාව ගෙන එන්නේ සොබා දහමට මිස
සිත්තරකුට අඳින්නටවත් නොහැකි තරමේ චමත්කාරයක්. ඒ සමඟම බෝමුරු ඔය ආශි‍්‍රතව ගලා
හැලෙන බෝමුරු ඇල්ල පිහිටා තිබෙන්නේ ජලාශයේ හරි මැදට වන්නට.
”මේ හරියේ දිය බුබුළක් තිබෙනවා. ඒක නොදැක්කොත් ගමනෙන් වැඩක් නෑ.” ගඟේ පළල අඩුම තැන
ලෙස හැඳින්වෙන හඳපාන්ගම ඉසව්වේදී එන්ජිම නවත්වලා අපට දිය බුබුලේ චමත්කාරය විඳින්නට
අවස්ථාව දෙන ගමන් රියැදුරා පවසනවා.
සැබැවින්ම ජලාශයේ පතුලේ සිට අධික පීඩනයක් සහිතව
ඉහළට එන ජල කඳ බුබුළු නංවමින් නෙත් වලට සුන්දර දසුනක් මැවූවත් මෙහි ගැඹුර ගැන
අවබෝධයක් එනවිට සිතට දැනුණේ බියකරු බවක්.
”කොත්මලේ කියන ගමට ඉතිහාසයේ ලැබිලා තියෙන්නේ වැදගත් තැනක්. ඒ දුටුගැමුණු කුමාරයා
මාලිගාවෙන් පැනලා ඇවිත් කොටකේපිටිය ගමේ ගුප්තා කියන අන්වර්ථ නාමයකින් හැංගිලා හිටිය
නිසා. අර ඈත පෙනෙන්නේ එතුමා හිටිය ගම තියෙන කන්දයි.
ඒකට කියන්නෙ මොනරාගල කියලා. ඔය
කන්ද උඩ තැනිතලා තණ බිම්, හරකුන්ට වතුර පෙවූ වැව තියෙනවා කියලා තමයි කියන්නෙ.”
කිරිබණ්ඩා විස්තර කරනවා. අප චාරිකාවේ අවසානයට ළඟා වෙලා. ඈතින් පෙනෙන මහවැලි මහා
සෑයත් වේල්ලත් මවන්නේ අපූරු දසුනක්. වේල්ල මතින් ගමන් ගන්නා බස් රථයක් අපේ අවධානයට
යොමු වුණා.
බෝමුරු ඇල්ල
|
”වේල්ල උඩින් තියෙන්නෙ නුවරඑළිය තවලම් තැන්න හරහා මාර්ගයයි. ඔය බස්එක දවසට දෙසැරයක්
එහා මෙහා ගමන් කරනවා.
අතීතයේ කොත්මලේ ඉඳලා තියෙනවා දක්‍ෂ ගණිතඥයෙක් කොත්මලේ ගණිතයා කියලා. ඔහු අනාවැකියක්
කියලා තියෙනවා මේ කඩදොර කන්දයි තිස්පනේ කන්දයි කවදාහරි යාවෙනවා කියලා. කොත්මලේ
වේල්ල හැදුණාට පස්සේ ඒ අනාවැකිය තමයි මේ හැබෑ වෙලා තියෙන්නෙ.
ජලාශය නිසා යටවී ගිය
පන්සල් සියල්ලම වෙනුවෙන් තමයි ඔය මහවැලි මහා සෑය හදලා තියෙන්නෙ.” කිරිබණ්ඩා ගමන
අවසානයේ මෑතින් පෙනෙන වේල්ල පෙන්වා පවසන විටම සිහිල් වැසි පොදක් වැටෙන්න පටන්
ගත්තා.
”පෙබරවාරි මාසයේ මුල් සතියේ වැස්සට පස්සෙ මාස 3 කින් අද තමයි පොඩි හරි පොදයක්
යන්නෙ.” දැන් ඉතින් වැහි පටන් ගනීවි. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ බෝට්ටුවෙන් බසින
ගමන්.
තව ටික දිනකින් ජලාශය පිරී ඉතිරී ගොස් අප දුටු සියල්ල ජලයෙන් යටවී යනු ඇත. පන්සල්,
බුදු පිළිම, චෛත්‍යය මේවා ටිකෙන් ටික ජලයට දියවී ගොස් තව වසර ගණනාවකට පසු ජලය සිඳී
ගියත් යළි දැක ගන්නට නොලැබෙනු ඇත.
එවිට ඒ පිළිබඳව මතු පරපුරට දැක බලාගන්නට අප තබන මේ සටහන ඉතිහාසයේ සුවිශේෂී
සාක්ෂයක්ම වනු ඇත.
විශේෂ ස්තූතිය
මහවැලි අධිකාරියේ මාධ්‍ය උපදේශක ආනන්ද ධර්මප්‍රිය, ප්‍රධාන ඉංජිනේරු ඩබ්ලිව්.ජේ.
විජේසේකර, සිවිල් ඉංජිනේරු ආනන්ද කුලරත්න, තාක්‍ෂණ නිලධාරී ආර්.ඩබ්ලිව්.එම්.
ජයතිලක, එම්.ඒ.එම්. මුණසිංහ, වනසිංහ, භද්‍රා නවරත්න ඇතුළු කොත්මලේ වේල්ල බාර සියලුම
නිලධාරී මහත්ම මහත්මීන්ට.
ඡායාරූප - සුදම් ගුණසිංහ

3 Comments:
කෝ ඉතින් ෆොටෝ ???
godak hodai. monawa karatada banninna one. puluwan kamak thiye nam mahawali janawasa piliwela ganath artical 1k karanna........
නියම සටහනක්...!
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home