28 Feb 2012

සිතේ සතුට නැති දැරියකට මතුවන ගැටලු



දියණියක්‌ ලද මවක සතුව ඇත්තේ අසීමිත වගකීමකි. මතු දිනෙක තම දියණියද මව් පදවිය ලබන්නට තරම් පින්වන්තියක්‌ බවට පත්කිරීමේ වගකීම සතුව ඇත්තේ ඇය තුළය. එය වර්තමානයේ බොහෝ මව්වරු අවබෝධ කරගෙන නොමැති බව දරුඵල නොමැතිබව පවසමින් ප්‍රතිකාර සඳහා පැමිණෙන යුවතියන්ගේ ගැටලු දෙස බලන විට පැහැදිලි වේ.

මෙම යුවතියන් බහුතරයකට ඇත්තේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතාය. එම අක්‍රමිකතාවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මානසික පීඩාව නිසා මතුවූ හෝමෝන අසමතුලිත තාවයන්ය.

දැරියකගේ ගතිගුණ

උත්පත්තියෙන්ම කාන්තාවක්‌ තුළ මතුවන්නේ මෘදු ගතිගුණය. ඇය ඉතා ඉක්‌මනින් සතුටට පත්වන අතර ඉතා ඉක්‌මනින් දුකටද පත්වන්නීය. එනිසා සිනහව සහ කඳුළ ගැහැනු දරුවකු තුළ නිතර දැකිය හැකි ලක්‍ෂණයකි. මෙය සෑම දෙමාපියකුම තේරුම්ගත යුතුය.

කුඩා කාලයේදී දැරියන් ප්‍රිය කරන්නේ මල් වලට, බෝනික්‌තන්ට වැනි මටසිලුටු දේවල් වලටය. එවැනි දේ සඳහා ඇය යොමුවන්නේ උත්පත්තියෙන්ම උරුමවන මෘදු ගතිගුණ නිසාය. මෙවැනි ගතිගුණ සහිතව හැදී වැඩෙන දැරියන් යම් මානසික පීඩාවකට පත්වුවහොත් ඇයගේ සිරුරේ හෝමෝන සමතුලිතතාවය වෙනස්‌වේ. එහි ප්‍රතිඵලය වන්නේ මල්වර වූ පසු ඔසප් චක්‍රයේ අක්‍රමිකතා මතුවීමටය.

සෙනෙහස අහිමි දරුවන්

එසේම ඇතැම් දැරියන් කුඩා කල සිට වර්ධනය වන්නේ ආදරය කරුණාව, සෙනෙහස නොමැතිවය. එවැනි දැරියන් තුළ කුඩා කල සිට මතුවන්නේ ආවේගශීලී හැඟීම්ය. ඉක්‌මනින් කෝපවීම, අන් අයට හිරිහැර කිරීම, සැර පරුෂ වදන් පැවැසීම ඔවුන් තුළින් දැකගත හැකිය. මෙවැනි දරුවන්ගේ ශාරීරික ලක්‍ෂණ දෙස බැලුවත් අසාමාන්‍යය. ඉතා කෙට්‌ටු සිරුරක්‌ පැවැතිය හැකිය. එසේත් නැත්නම් අධික මහත සිරුරක්‌ සහිතය. මෙම දැරියන් වැඩිවියට පත්වූ විට නිතැතින්ම ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවලට ගොදුරු වේ.

සෙනෙහස ලබන දරුවන්

ආදරය, කරුණාව ලබන දැරියන් වර්ධනය වන්නේ පුළුල් උකුල, පුන් පියයුරු, සිහින් ඉඟ යන නාරි ලක්‍ෂණ සහිත සිරුරකිනි. මෙවැනි දැරියන් මල්වර වූ පසු නිසි ඔසප් චක්‍රයකින්ද පැහැපත් සිරුරකින්ද යුක්‌ත වේ.

නිරෝගී දියණියක්‌ හදාවඩා ගැනීම

වර්තමානයේ බොහෝ දෙමාපියන් තම දියණියන් කෙරෙහි දක්‌වන සැලකිල්ල සහ ආදරය, කරුණාව අඩුබව වගකීමකින් යුක්‌තව පැවැසිය හැකිය. ඇතැම්විට ඊට හේතුවී ඇත්තේ ඔවුන් තුළ ඇති නොදැනුවත්කමය.

බොහෝ මව්වරුන් ආසා කරන්නේ පිරිමි දරුවන්ටය. එවැනි මව්වරුන් ගැහැනු දරුවකු ලැබුණුවිට එම දරුවාට සලකන්නේ පිරිමි දරුවකුට මෙනි. එවිට එම දියණිය තුළින් කාන්තා ගති ලක්‍ෂණ මතුවීම යටපත් වේ. එහි ප්‍රතිඵල ලැබෙන්නේ ඔවුන් වැඩිවියට පත්ව විවාහවන වයසේදීය. එම දියණියන්ගේ සිරුරින් කාන්තා ගති ලක්‍ෂණ දැකිය නොහැකිය. හෝමෝන අසමතුලිතභාවය නිසා සිරුරේ අධිකව රෝම වර්ධනය වී, මහත සිරුරකින් යුක්‌ත වේ.

ළමා වියේදී

නිරෝගීව දියණියක්‌ හදාවඩා ගැනීමේදී ඇයට ආදරය, කරුණාව, සෙනෙහස මෙන්ම නිසි පෝෂණය ද ලබා දිය යුතුය. ධාන්‍ය වර්ග, පලා වර්ග සහිත සමබල ආහාර වේලක්‌ ලබාදීම, නැටුම්, ගැයුම්, ක්‍රීඩාවන් ආදියට යොමුකර ඇයගේ සිරුර වර්ධනය නිසිලෙස පවත්වාගෙන යාමට පියවරගත යුතුය.

මෙවැනි දැරියන් නිසි හැඩයකින් යුත් සිරුරකින්ද පිරුණු අඟ පසඟින් ද පැහැපත් සමකින්ද යුක්‌තවේ. ඇයගේ උස අඩි පහක්‌ පමණ වර්ධනය වේ. සාමාන්‍යයෙන් නීරෝගී දරු ප්‍රසූතියක්‌ සඳහා කාන්තාවක්‌ උස අඩි පහක්‌ පමණ සිරුරකින් යුක්‌ත විය යුතුය.

නීරෝගී දියණියක්‌ අනාගත සමාජයට දායාද කරන සෑම මවක්‌ම මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

තම දියණිය කුඩා අවධියේදී නිසි ලෙස වර්ධනය නොවේනම්, ඇය තුළින් ආවේගශීලීබව, අධික කෝපය, නොසන්සුන් බව මතුවේ නම් වහාම ඊට හේතු සොයා බලා නිසි ප්‍රතිකාර ලබා දිය යුතුය. මෙහිදී වෛද්‍ය උපදෙස්‌මත අදාළ ප්‍රතිකාර ලබාදිය යුතුය. මෙවැනි ලක්‍ෂණ දරුවන් තුළින් පහළවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ නිසි ආදරය, කරුණාව, රැකවරණය නොලැබීමය.

යොවුන් වියේදී

දැරියක්‌ වයස අවුරුදු 14 ත් 16 ත් අතර වියේදී මල්වර වූ පසු ඇයගේ සිරුර වර්ධනයවීම ඉතා සීඝ්‍රයෙන් සිදුවේ. මෙම වයසේදී ඇය තුළින් අලස බව, නිතර නිදිමත බව වැනි ලක්‍ෂණ දැකිය හැකි නම් ඇය පෝෂණ ඌනතාවයකින් පෙළෙන බවට විශ්වාස කළ හැකිය. එවිට වහාම එම දියණියට වෛද්‍ය උපදෙස්‌ මත නිසි පෝෂණය ලබාදිය යුතුය. උසට අනුව බර සහිතව ඇය වර්ධනය පවත්වාගත යුතුය.

ඇතැම් දෙමාපියන් මෙය එතරම් සැලකිල්ලට නොගනී. තම දියණියන්ගේ පෝෂණය ගැන උනන්දු නොවීම නිසා අනාගතයේදී ඔවුන් දරුඵල නොලබන තත්ත්වය දක්‌වා වූ තත්ත්වයකට පත්විය හැකිය. වර්තමානයේ මෙවැනි යුවතියන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙනු සුලබව දැකිය හැකිය.

එබැවින් තම දියණියන් මතු දිනෙක මව්වරුන් වනු දැකීමට කැමැති සෑම මවක්‌ම, සෑම පියෙක්‌ම මේ පිළිබඳ නිසි අවධානය යොමු කළ යුතුය.

ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ
ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මෙය උපුටා ගැනීමකි

1 Comments:

At 21 February 2013 at 21:23 , Blogger Unknown said...

ගොඩක් වටිනවා...

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home