23 Jan 2012

ඇමරිකාවට නම ලබා දුන් ඇමරිගෝ වෙස්පුසි


උතුරු සහ දකුණු ඇමෙරිකාවට එම නම ලැබුණේ මේ දේශ ගවේෂකයා නිසායි. ඔහු නමින් ඇමරිගෝ වෙස්පුසිය. 1451 මාර්තු මස ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ උපත ලද වෙස්පුසිගේ ළමා කාලය ඉතා සතුටින් ගෙවී ගිය එකක් වුණා. හෙතෙම තාරකා අධ්‍යයනයට ඉමහත් කැමැත්තක් දැක්වූවෙක්. ගණිතයට ශූරකම් දැක්වූ වෙස්පුසිගේ විනොදාංශය වූයේ සිතියම් පිටපත් කිරීමයි. කුඩා දරුවකු වූ ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ දේශ දේශාන්තරවල ඇවිද ගොස් ලෝකය ගැන තොරතුරු දැන ගැනීමයි.පවුලේ තුන්වැනි දරුවා වූ ඇමරිගෝට ඇන්ටෝනියෝ සහ ගිරොලාමෝ නමින් වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙක් සිටියා. ඔහුගේ බාල සොහොයුරා වූයේ බර්නාඩෝයි.වැඩිවියට පත් ඇමරිගෝ ව්‍යාපාර කටයුතුවලට නැඹුරු වුණා. තම දේශාන්තර චාරිකා සඳහා හැකි තරම් මුදල් උපයා ගැනීමයි ඔහුගේ ඒකායන අභිප‍්‍රාය වී තිබුණේ.කි‍්‍රස්තු වර්ෂ 1492 දී වෙස්පුසි ෆ්ලොරන්ස් නගරය අතහැර ස්පාඤ්ඤයේ සෙවිලි නගරයට පදිංචියට පැමිණෙන්නේ තම අරමුණු ෆ්ලෝරන්ස් හි සිට ක‍්‍රියාත්මක කර ගැනීමට නොහැකි බව අවබෝධ වුණු නිසාවෙනි. දේශ ගවේෂණ ගමන්වලට ඉතාලිය එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. ඒ නිසාම ඔවුන් ඊට අනුබලයක් ලබා දුන්නෙත් නැහැ. දේශ ගවේෂණ කෙරෙහි උනන්දුවක්, උද්‍යෝගයක් දැක්වූ ස්පාඤ්ඤය වෙත වෙස්පුසි පැමිණියේ මේ නිසාවෙනි. වර්ෂ 1495 වන විට හතළිස් හැවිරිදිව සිටි වෙස්පුසි නැව් සමාගමක අධ්‍යක්ෂ කෙනෙක් බවට පත් වුණා. දීර්ඝ වූ සංචාරයන් සඳහා අවශ්‍ය නෞකා සැපයුණේ මෙම සමාගමෙනි. තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට මාර්ගය හෙළි පෙහෙළිවීම පිළිබඳව වෙස්පුසි පසු වූයේ අපමණ සතුටිනි. නව ලෝකය සොයා ගැනීමේ නොතිත් ආසාවෙන් පසු වුණු හෙතෙම අනෙකුත් දේශ ගවේෂකයන් මෙන් ඒ වෙනුවෙන් කිසිම ලාභ ප‍්‍රයෝජනයක් ලබා ගැනීමට අපේ්ක්ෂා කළේ ද නැහැ.වෙස්පුසි සිය ප‍්‍රථම චාරිකාව 1497 දී ආරම්භ කළ බවයි ප‍්‍රකාශ වෙන්නේ. එහෙත් මේ ගමන පිළිබඳ ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් ඒ ගැන තොරතුරු ද වාර්තා වී නැහැ. කෙසේ වුව ද තම ප‍්‍රථම චාරිකාව නිමකර 1498 දී නැවතත් සෙවිලි නගරයට පැමිණි බවටයි වාර්තා වෙන්නේ. 1499 දී වෙස්පුසි තමන්ගේ දෙවැනි සංචාරය ද ආරම්භ කළා. මෙවර ඔහු තම නෞකාවේ කපිතාන් ලෙසින් ආලොන්සෝ ද ඔජෙඩාව පත් කර ගත් බව සඳහන් වී තිබෙනවා. එහි දී ඔවුන් වර්තමානයේ ගුවානා නමින් හැඳින්වෙන රටේ වෙරළ තීරය වෙත ගමන් කළ බවයි පැවසෙන්නේ. තව දුරටත් දකුණු දිශාවට වන්නට ගමන් කළ හෙතෙම ඇමේසන් ගංගාවේ මුව දොර තෙක් ගමන් කළා. නැවත එන ගමනේ දී ඔහු ටි‍්‍රනිඩෑඩ් වෙත පැමිණි අතර ඔරිනෝකෝ ගංගාවේ මුවදොර වෙතට ගමන් කළා. ඉන් අනතුරුව ඔවුන් ගමන් කළෙ හයිටිය වෙතටයි.
ඔවුන්ගෙ මෙම ගමන අතුරතුරේ දී ඔවුන් වෙනිසුවේලාවට පැමිණියා. වෙනිසුවේලාවට මුලින්ම පැමිණියේ කි‍්‍රස්ටොපර් කොළම්බස්ය. ඒ වර්ෂ 1498 දීයි. ඉන් අනතුරුව එනම් 1499 දියි වෙස්පුසි සහ ඔජෙඩා ඒ වෙත පැමිණියේ. මේ ප‍්‍රදේශය වෙනිසුවේලාව නමින් නම් කළේ මොවුන් දෙදෙනායි. ස්පාඤ්ඤ භාෂාවෙන් එහි අර්ථය වන්නේ පුංචි වැනීසිය යන්නයි.තමන්ගේ දෙවැනි චාරිකාවේ දී ඔහු ආසියානු අර්ධ ද්වීපයේ නැගෙනහිරට ආසන්නයේ ගමන් කළ බවයි කල්පනා කළේ. මෙම අර්ධ ද්වීපයෙ තුඩුව පසු කළ සැනින් දකුණු ආසියාවේ මුහුදු තීරයට එළැඹිය හැකි බවයි ඔහු කල්පනා කළේ. ස්පාඤ්ඤයට ගිය වහාම වෙස්පුසි නවතම දේශ ගවේෂණ ගමනක් සූදානම් කළේ ඉන්දීය සාගරය ඔස්සේ ගමන් කර බෙංගාල බොක්ක හරහා යමින් එකල ‘තැප්‍රොබානා’ නමින් හැඳින් වූ ශ‍්‍රී ලංකාව වෙත පැමිණීමේ අරමුණින්. එහෙත් ස්පාඤ්ඤ රජය ඔහුගේ මෙම යෝජනාව පිළිගත්තේ නැහැ. මේ නිසාම කි‍්‍ර. ව. 1500 දී වෙස්පුසි පෘතුගාලයට සේවය කිරීමට ගියා.පෘතුගාලයට ගිය වෙස්පුසි නැවතත් දේශ ගවේෂණ චාරිකාව නියැළුණා. 1501 මැයි 13 වැනිදා ආරම්භ කළ මෙම ගමනේ දී වර්ඩේ දිවයින් වෙත පැමිණි හෙතෙම නිරිත දිගට වන්නට ගමන් කරමින් බ‍්‍රසීලයට පැමිණියා. තව දුරටත් දකුණු දිශාවට වන්නට ගමන් කළ ඔහු පැටගෝනියාව හෙවත් වර්තමානයේ දකුණු ආර්ජන්ටිනා වෙරළ තීරයට පැමිණියා. ඔවුන් නැවත පැමිණි ගමන් මාර්ගය පිළිබඳතොරතුරු වාර්තා නොවුණ ද 1502 ජුලි 22 වනිදා ලිස්බන් නුවරට සපැමිණි බවයි සඳහන් වෙන්නේ.වර්ෂ 1503 - 1504 දක්වා කාලය අතරතුර දී ඔහු තවත් දේශ ගවේෂණ ගමනක නිරත වූවාදැයි ස්ථිරව පැවසීමට තරම් සාක්ෂි ලැබී නැහැ. එහෙත් ඇතැමුන් පවසන්නේ ගොන්සාලෝ කොඑල්හෝ සමගින් ඔහු තවත් චාරිකාවක නියැළුණ බවයි, එහෙත් එම ගමනේ දී අලුත් යමක් සොයා ගත් බවට වාර්තා වී නැහැ.දේශ ගවේෂණ ගමනේ යෙදී සිටි වෙස්පුසි නැවත ස්පාඤ්ඤයට පැමිණි විගස තමන් සොයා ගත් නව ලෝකයේ තතු පවසන්නට වුණා. ඔවුන්ගේ ඒ තොරතුරු ඇතුළත් කරමින් සිතියම් නිර්මාණය කරන්නට සිතියම්කරුවන් ද පෙළඹුණා. ඔවුන් මෙම නව ලෝකය අමෙරිකාව යනුවෙන් නම් කළා. නව ලෝකය වෙත ගිය පළමු යුරෝපීය ජාතිකයා ලෙසින් සළකනු ලැබුවේ ඇමරිගෝ වෙස්පුසිය. ඒ බව තරයේ විශ්වාස කළ මාර්ටින් වොල්ඩ්සිම්ලර් නමැති සිතියම් නිර්මාණකරු ඒ භූමිය සොයා ගත් ඇමරිගෝට ගෞරවය පිරිනැමීම හේතු කොට ගෙන එය ඇමරිකාව නමින් නම් කළා. ඉන් අනතුරුව එම භූමිය ඇතුළත් මුළු මහාද්වීපයම ඇමරිකා මහද්වීපය නමින් නම් කරන්නට වුණා.

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home