25 Jan 2012

රූ වඩනා සාරි ලතා (කාන්තාවන් සදහා පමණයි)


ද්‍රෞපදිය ගේ නිමාවක් නොමැති වස්ත‍්‍රය ලෙසින් ඉන්දියානුවන් අතර ආදි කාලයේ ප‍්‍රචලිත වූ සාරිය අද ඉන්දියානු මෙන් ම ශ‍්‍රී ලාංකික වනිතාවන් අතර ද ඉතා ජනප‍්‍රිය ඇඳුමකි. ඉන්දියානු වනිතාව ලොව කොතැනක සිටියා වුව ද හඳුනා ගත හැකි සාධකයක් වනුයේ සාරිය යි. ඉන්දියානු ක‍්‍රමය අනුව අඳින සාරිය අප රටේ වනිතාව අතර ද ප‍්‍රචලිත වූයේ ඉන්දියානුවන් ගෙන් අප රටට ලැබුණු සංස්කෘතික දායාදත් සමඟ ය.ඉන්දියානු වනිතාවන් අතර සාරි ඇඳීමේ ඉතිහාසය කි‍්‍රස්තු පූර්ව සියවැන්න දක්වා අතීතයකට යයි. මෞර්ය වංශ අශෝක රාජ්‍ය පාලන සමයෙන් පසු ඉන්දියාවේ පාලනයට එළැඹියේ ෂුංගා රාජ පරම්පරාව ය. ෂුංගා පාලන යුගයේ තොරතුරු විදහා දැක්වෙන උතුරු ඉන්දියානු මැටි පුවරු විශේෂයකින් එකල වනිතාවන් සාරි වැනි වූ වස්ත‍්‍ර හැඳ සිටි බව දැක්වෙන රූප හමු වි තිබේ.එරට ග‍්‍රීක ඉන්දියානු ගාන්ධාර ශිෂ්ටාචාරයන් පැවැති සමයේ සිටි වනිතාවන් මුළු ගත ම වැසෙන සේ සාරි වැනි වස්ත‍්‍ර හැඳ සිටි බව වාර්තා වේ. එකල කළා යැයි සැලකෙන කාන්තා ප‍්‍රතිමාවන් හි වස්ත‍්‍රවල ස්වරූපයෙන් මේ බව තහවුරු වෙයි. බටහිර මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ සුප‍්‍රසිද්ධ අජන්තා ලෙන්ගුහා බිතු කැටයම්වල ඇති කාන්තා රූපවලින් ද ඉන්දියානු වනිතාවන් ගේ සාරි ඇඳීමේ අතීත සබඳකම් හෙළි වෙයි. ඉන්පසු එළැඹි මෑත ඉතිහාසයේ හොඳ ම සාක්කිය වනුයේ 1500 වසරේ දී ඉන්දියාවේ සංචාරය කළ පෘතුගීීසි ජාතිකයකු ගේ සටහන් ය.එදා මහා පරිමාණ වශයෙන් නොකෙරුණ ද අද ඉන්දියාවේ සාරි වියමන එරට ප‍්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇත්තේ ය. ලොව විශාලතම සාරි වෙළෙඳ සල්වලට සහ සාරි නිෂ්පාදනාගාරවලට අද ඉන්දියාව හිමිකම් කියයි. ඉන්දියාවේ මෙම සාරි වියමන තාක්‍ෂණ හා ශිල්ප ඥානයෙන් මෙන් ම මෝස්තර අනුව ද ප‍්‍රාන්තයෙන් ප‍්‍රාන්තයට වෙනස් වේ. බොහෝ විට සාරි වර්ගයට නම වැටෙනුයේ ද ප‍්‍රාන්ත නාමය අනුව යමිනි. බරණැස (වත්මනෙහි වරණාසී) එරට සාරි කර්මාන්තයේ කේන්ද්‍ර ස්ථානයයි. අනෙකුත් ප‍්‍රාන්තවල සාරි වියන්නන් බොහෝ විට පුහුණු වී ඇත්තේ වරණාසීවල ය. වරණාසී ප‍්‍රදේශයේ වියන සාරි බෙනාරීස් සාරි ලෙස හැඳීන්වේ. එලෙස ම කාශ්මීරයේ වියෙන සාරි ‘කැෂ්මියර්’ ලෙස ද කංචිපුරම් සාරි ‘කංචිපුරම්’ සාරි ලෙස ද බැංගලෝර් - මයිසූූරයේ සාරි මයිසූූර් සිල්ක් සාරි ලෙස ද හඳුන්වති.අන්ද්‍රා ප‍්‍රදේශයේ ප‍්‍රධාන නගරය වන හයිද්‍රාබාද් හි සිට කිලෝ මීටර් 150 ක් ඈතින් පිහිටි ගඩ්වාල් ප‍්‍රදේශයේ ද මහා පරිමාණ වශයෙන් සාරි නිපදවනු ලැබේ. දකුණු ඉන්දියානු වෙළෙඳ පොළ සඳහා සිල්ක් බෝඩර් සහිත කපු සාරි නිපදවනුයේ මෙම ප‍්‍රදේශයෙනි. එම සාරි ‘ගඩ්වාල්’ සාරි ලෙස ප‍්‍රසිද්ධ ය. අන්ද්‍රා ප‍්‍රදේශයේ හයිද්‍රාබාද් හි සිට කිලෝ මීටර් 70 ඇතුළත ගම්මාන 40 ක පමණ සාරි වියමන කෙරේ. සාරි වියමන එම ප‍්‍රදේශවල ජනයා ගේ ජීවන චක‍්‍රය හා බැඳී පවතී. කුඩා දරුවා ගේ පටන් මහල්ලා දක්වා සෑම පවුලක ම පාහේ කුමන හෝ සාමාජිකයකු මෙම සාරි වියමනේ එක් අංගයකට හෝ සම්බන්ධ වීම මෙම ප‍්‍රදේශයේ විශේෂයකි.
ඉන්දියාවේ මහා පරිමාණ සාරි වියමනෙහි නිරත ප‍්‍රදේශ අතරින් කංචිපුරම් සහ මයිසූූරයේ සාරි වියමන දැක බලා ගැනීමේ වරම පසුගිය දාක අපට හිමිවිණ. කංචිපුරම් යනු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ දිස්ති‍්‍රක්කයකි. චෙන්නායි හි සිට ඇත්තේ කිලෝ මීටර් 60 කි.කංචිපුරම් හි සාරි වියමන ඇරැඹී ඇත්තේ මීට වසර 400 කට පමණ පෙර අන්ද්‍රා ප‍්‍රදේශයෙන් පැමිණි දේවන්ගා සහ සාලිගාර් යන දෙපරපුරෙනි. කංචිපුරම් ප‍්‍රදේශය පුරා පැතිර ඇති අධික කෝවිල් සංඛ්‍යාව නිසා ම මෙම ප‍්‍රදේශයේ ආගමික උත්සව ද බහුල ය. ප‍්‍රදේශයේ කාන්තාවෝ මේ ආගමික උත්සවවලට හැඳ පැළැඳ යනුයේ ඉතාමත් උත්කර්ෂවත් ලීලාවෙනි. ඊට සරිලන සේ විසිතුරු අයුරින් සාරි විවීමට මෙහි සිටිනා වියන්නන් දක්‍ෂයෝ වෙති. කංචිපුරම් සාරිවල ඇති විශේෂත්වය වනුයේ සාරියේ පල්ලුවේ ඇති වියමන් සඳහා යොදා ගනුයේ රිදී සහ රත්රන් වතුරේ පෙඟවූ සිල්ක් නූල් වීම ය. මෙමගින් සිල්ක් සාරියේ පෙනුම සහ වටිනාකම වැඩි කැරෙයි. එනිසා කංචිපුරම් සාරි ලොව අගනා ම සාරි ලෙස ද පිළිගැනේ.සිල්ක් නගරය ලෙසින් ප‍්‍රසිද්ධ කංචිපුරම් හි සාරි වියන යන්ත‍්‍ර දහස් ගණනක් ඇත්තේ ය. කංචිපුරම් හි ජනගහනයෙන් සියයට 75 ක් පමණ යැපෙනුයේ සාරි වියමනෙනි. පවුල් වශයෙන් ගත් කල ඒ සංඛ්‍යාව පවුල් 7000 ඉක්මවයි. නවීන වෙළෙඳ පොළට අවශ්‍ය මෝස්තර සමග ප‍්‍රදේශයේ සාම්ප‍්‍රදායික රටා වන අඹගෙඩි මෝස්තරය, අලි, මොනර, දියමන්ති, නෙළුම්, කළගෙඩි, මල්, ගිරව් සහ කුකුළා යන රූප සහිත ව මෝස්තර යොදා සාරි වියමනට මෙහි ශිල්පීහු දක්‍ෂ ය.කංචිපුරම් ප‍්‍රදේශයේ සංචාරයේ යෙදෙන්නකුට නිතර ඇස ගැටෙන දර්ශනයක් වනුයේ ගෙවල් දොරකඩ සිට සාරි බැලීමට එන ලෙස ආරාධනා කරන පිරිස් ය. බාහිරව බලද්දී එය නිවසක් ලෙස දිස්වුවත් ඇතුළ කාමරයක දෙකක අනිවාර්යෙන් ම ඇත්තේ සාරි වියන යන්ත‍්‍රයෙකි, දෙකකි.කර්ණාටක ප‍්‍රාන්තයේ අගනුවර වන බැංගලෝරයට ආසන්න මයිසූර් ප‍්‍රදේශය ප‍්‍රසිද්ධව ඇත්තේ සේද සාරි සඳහා ය. පට පණු නූලෙන් වියෙන මෙම සාරි මයිසූරයට ම විශේෂ වේ. එහි ද ගෙයක් පාසා සාරි වියන යන්ත‍්‍ර ඇත. එසේ වුව ද, නගරය ශබ්ද දූෂණයෙන් බේරා ගැනීම සඳහා බැංගලෝර් සහ මයිසූර් නගරාසන්නයේ ඇති සාරි වියන මැෂින් සංඛ්‍යාව සීමා කර ඇත්තේ ය. එනිසා වැඩිපුර මැෂින් ඇති සැවොම ගේ ම පාහේ මැෂින් නගරයෙන් පිට වෙනත් ප‍්‍රදේශවල ඇත්තේ ය.අප හා එහි දී කතා බහට එක් වූ සාරි වියන යන්ත‍්‍ර හිමියකු පැවසුවේ තමා සතු යන්ත‍්‍ර 125 ක් පමණ ප‍්‍රධාන නගරයෙන් කිලෝ මීටර් 20 ක් පමණ එපිට ප‍්‍රදේශයේ ඇති බව ය.උමා ශංකර් නමැති ඔහු සාරි වියමන පිළිබඳව අප හා මෙසේ අදහස් දැක්වී ය.“මේ එක සාරියක් වියන්න දොළොස් දෙනකු ගේ විතර ශ‍්‍රමය අවශ්‍ය යි. මෝස්තරය සැකසීමේ සිට නූල් පාට දැමීම, යන්ත‍්‍රයට මෝස්තරය ඇතුළු කිරීම, මෝස්තරය අනුව නූල් සැකසීම වැනි කටයුතු සිදුවෙන්නේ විවිධ පුද්ගලයන් අතින්. අන්තිමට වියන්නේ වෙනම කෙනෙක්. එක සාරියක පමණක් මේ කි‍්‍රයාවලිය සඳහා වියදම රුපියල් ලක්‍ෂයක් පමණ යනවා. අප එක මෝස්තරයකින් වියන්නේ සාරි 125 - 200 ක් පමණයි.
අප වියන්නේ සිල්ක් සාරි පමණයි. රෝ (Raw) සිල්ක්, ෂිපෝන්, ජෝජට්, ඩියුපන් සිල්ක් ලෙස ඒවා වර්ග වෙනවා. මෙහි සිල්ක් නූූල් වියන ක‍්‍රමයේ වෙනසක් තියෙනවා. වියමනේ නිමාවත් සමගයි ඒ වෙනස පේන්නේ. සමහර ඒවා ඇඟට සනීපයි. කඩා හැළෙනවා.” යැයි ඔහු පැවසී ය.බැංගලෝරයේ එක් සාරි ප‍්‍රදර්ශනාගාරයක දී අප දුටු සාරියක් හැඳින්වූයේ ‘එයාර් කන්ඩිෂන්’ යන නමෙනි. එහි සේවිකාවක් අප එපා කියද්දීත් එම සාරියක් අප ඇඟ මත දැමුවා ය. එම සාරියෙන් දැනුණේ පුදුම සිසිලසකි. නමට සරිලන සීතලක් එහි විය. එම සාරිය දිග හැර ඒ මතට ‘කොකා කෝලා’ බීම ටිකක් දැමූ ඇය එම බීම සාරියට උරා නොගන්නා අයුරු පැහැදිලි කළා ය. එම සාරියේ තවත් විශේෂත්වයක් වූයේ සාරියේ දෙපැත්ත මෝස්තර දෙකකින් වර්ණ දෙකකින් වීම ය. එය දෙපැත්ත ම ඇඳිය හැකි සාරියකි. ඉන්දියාව කවදත් සෑම දෙයින් ම විස්මිත දේ කරන රටකි. සාරි සම්බන්ධයෙන් ද ඔව්හු එවැන්නක් කළහ. ඒ පසුගිය වසරේ දී ය. ඒ ලෝකයේ දිග ම සාරිය විවීමෙනි. එහි දිග අඩි 702 කි. පළල අඩි හතර හමාරකි. විවීම සඳහා ඉතා නිපුණ විවීම්කරුවන් 6 දෙනකු ඇතුළු 16 දෙනෙක් සහභාගි වූහ. එහි මිල ඉන්දියානු රුපියල් 25,000 කි.ලොව දිග ම සාරිය වියූූ සමාගම ම පසුගිය දා තවත් හපන්කමක් කළේ ය. ඒ වර්ණ 50,000 කින් යුත් සාරියක් විවීමයි. එක ම පාටක් දෙවරක් නො යොදා වියූ මේ සාරිය විවීමට දින 40 ක් ගත වී ඇත. විවීම සඳහා 60 දෙනෙක් සහභාගි වූහ. එහි මිල ඉන්දියානු රුපියල් 50,000 කි.ඒ සාරිය එච්චර ගණන් ඉස්සුවත් ශ‍්‍රී ලංකාවේ අපේ කෙනකු ගේ නම ද ඉන්දියානු සාරියකට වැටුණේ ය. ඒ ඔහු සාරි වියමන් කළ නිසා නො වේ. තණතිල්ලේ සිට කි‍්‍රකට් පිටිය පුරා පිත්තෙන් කළ වියමන් නිසා ය. සාරියේ නම ජයසූරිය යි. සනත් ජයසූරිය සාරියක ප‍්‍රණාමය ලැබුණේ ඒ විදියට යි.

5 Comments:

At 25 January 2012 at 08:58 , Blogger Loku John said...

කාන්තාවන්ට පමනයි හින්දා කියෙව්වෙ නෑ ඕන්

 
At 25 January 2012 at 09:27 , Anonymous Anonymous said...

ekata moko kiyawahan ban

 
At 25 January 2012 at 09:48 , Blogger Ru_Sirini said...

හරිම අපූරු ලිපියක්නේ..
සාරි ගැන ගොඩක් දේ දැනගත්තා.
ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේති පූනා සාරි ප්‍රසිද්ධයි..

(වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න පුළුවන් නම් කමෙන්ට් කරන්න ලේසියි..)

 
At 25 January 2012 at 09:49 , Blogger Ru_Sirini said...

හරිම අපූරු ලිපියක්නේ..
සාරි ගැන ගොඩක් දේ දැනගත්තා.
ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේති පූනා සාරි ප්‍රසිද්ධයි..

(වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න පුළුවන් නම් කමෙන්ට් කරන්න ලේසියි..)

 
At 25 January 2012 at 10:22 , Blogger Kasunk said...

වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න පුළුවන් නම් කමෙන්ට් කරන්න ලේසියි..) man eka ain karanna danne natho

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home