4 Nov 2011

හැදුනුම්පත් ලබාගැනීම



ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමෙදී සැලකිය යුතු කරුණු  
ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සදහා සෑම අයදුම්කරුවෙක්ම අදාල අයදුම්පත හා අවශ්‍ය උපදෙස් ලබාගැනීමට අවස්තානුකූලව පහත සදහන් නිලධාරීන් අතුරින් එක් අයකු වෙත යා යුතුය.
1.    අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාමනිලධාරී
2.    වතු පදිංචිකරුවන් අදාල වතු අධිකාරී
3.    පාසල් අයදුම්කරුවන් අදාල පාසලේ විදුහල්පතිවරයා
ඒ අනුව තමා ලබාගත් අයදුම්පත සම්පුර්ණ කර අවශ්‍ය ලිපි ලේඛන සමග ඉහත සදහන් නිලධාරීන් වෙත බරදියයුතු වේ.
මෙහිදී තමා ලබාගැනීමට අපේක්ෂා කරන හැඳුනුම්පතේ ස්වභාවය අනුව මුද්‍රිත ආකෘතිපත්‍ර තුනක් භාවිතා කරනු ලැබේ.
1.    මුල්වරට ජාතික හැඳුනුම්පතක් ඉල්ලීම --> (ආකෘතිපත්‍ර අංක 01)
2.     පලුදු වූ හෝ හැඳුනුම්පතක අන්තර්ගත කරුණු සංශෝධනය කිරීම සදහා ඉල්ලීම -->  (ආකෘතිපත්‍ර අංක 08)
3.    නැතිවීම හේතුකොටගෙන හැඳුනුම්පතක අනුපිටපතක් ඉල්ලීම --> (ආකෘතිපත්‍ර අංක 07)

1  මුල්වරට හැඳුනුම්පතක් ලබා ගැනීම
(අ)   ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය
(ආ)  වයස වුරුදු 16 සම්පුර්ණ විය යුතුය

මුල්වරට හැඳුනුම්පතක් ලබා ගැනීම සදහා පු. ලි. දේ. වී. 1 ආකෘති පත්‍රය (සුදුපාට හෝ සුදුපාටට හුරු) සමග පහත සදහන් ලිපි ලේඛන ඉදිරිපත් කල යුතුය.

1.1    අයදුම්කරු වයස අවුරුදු 50 ට අඩු නම් අනිවාර්යයෙන්ම උප්පැන්න සහතිකය හෝ අතිරේඛ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන අනුමාන වයස් සහතිකය.
•    පාසල් හැරයාමේ සහතිකය.
•    බෞතීස්ම සහතිකය.
•    අයදුම්කරුගේ / අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්.
•    උප්පැන්න සහතිකයේ උපුටාගත් කොටස.
•    ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය ඇතුලත්ව තිබේනම්)
•    වතු හැර යාමේ සහතිකය (උපන්දිනය ඇතුලත්ව තිබේනම්)
•    ගමන්බලපත්‍රයේ අදාල පිටුවල සහතික කල පිටපත්
•    වතු අධිකාරී විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ් පත්
•    ජන්ම පත්‍රය(හඳහන)


1.2    බෞද්ධ භික්ශූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය ඉදිරිපත් කලයුතුය. අන්‍යාගමික පූජක තුමන්ලා එම පුඋජ්‍යත්වය සනාථ කිරීම සදහා අවශ්‍ය සහතික ඉදිරිපත් කළ යුතුය.
1.3    අයදුම්කරු විවාහක කාන්තාවක් නම් ස්වාමිපුරුෂයා ගේ නම ලබාගැනීම සදහා විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපතක්
1.4    විදේශයක උපත ලද්දකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසිබව ලබාගත් ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල සහතිකය හා එහි ඡායා පිටපතක්
1.5    1 3/8" * 7/8 ප්‍රමාණයේ වර්ණ ඡායා රූප 5 ක්
1.6    මුද්දර ගාස්තු : වයස අවුරුදු
                      17 ට අඩු අයදුම්කරුවන් සදහා රු. 3.00 ක් වටිනා මුද්දර
                      17 ට වැඩි අයදුම්කරුවන් සදහා රු. 13.00 ක් වටිනා මුද්දර


1.7    පදිංචිය සනාථ කිරීම සදහා ඉදිරිපත් කළයුතු ලේඛන
                ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරනු ලබන පදිංචි සහතිකය
           මෙම සහතිකය නොමැති අවස්ථාවල පමණක් අයදුම්කරුගේ නම සදහන් වන පහත සදහන් ලේඛන වලින් එකක් හෝ වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කළ යුතුය.
•    චන්දහිමි නාමලේඛනයේ සහතික කළ උද්ධෘතය
•    බැංකු ගිණුම් මාසික වාර්තාවේ සහතික කළ පිටපත
•    දුරකථන බිල්පත් සහතික කළ පිටපත
•    ඉඩමේ හෝ නිවසේ ඉතිය පිළිබඳ ඔප්පුවේ සහතික කළ පිටපත
•    බදු හෝ කුලී නිවසක් නම් එයට අදාල ගිවිසුම
•    වරිපනම් ගෙවූ  කුවිතාන්සිය
•    තාවකාලික පදිංචිකරුවන් සම්බන්දයෙන් පොලීසියට දැනුම්දෙනලද ලිපියේ පිටපතක්

1.8    තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාල සේවා සහතිකය ද (මාස 3 ක් ඇතලත ලබාගත් ) වෘතීයමය සුදුසුකම් ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාල සහතිකය ඉදිරිපත් කළයුතුය. උදා: වෛද්‍ය , ගණකාධිකාරී , නීතිඥ , ඉංජිනේරු වැනි වෘතිය සුදුසුකම් සඳහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
1.9 ව්‍යාපාරිකයන් ඒ සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචිකිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක් ඉදිරිපත්   කළ යුතුය.

2   පලුදු වූ හැඳුනුම්පත වෙනුවෙන් වෙනත් හැඳුනුම්පතක් ඉල්ලීම හා හැඳුනුම්පතක අන්තර්ගත කරුණු  සංශෝධනය සදහා ඉල්ලුම් කිරීම.
දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද හැඳුනුම්පත් අයදුම්කරුවන්ගේ ඉල්ලීම මත නැවත සංශෝධනය කරනු ලබන්නේ පහත සඳහන් හේතු නිසාය.
1.    මුල්වරට ලබාගත් හැඳුනුම්පතේ ඡායාරුපයට වඩා පුද්ගලයාගේ වර්තමාන ස්වරූපය වෙනස්   වීම.
2.    නම වෙනස් කරගැනීමට අවශ්‍ය වීම.
3.    පදිංචිය වෙනස් වීම නිසා ලිපිනය වෙනස් වීම.
4.    රැකියාව වෙනස් වීම නිසා හෝ දැනට දරන තනතුර වෙනස් වීම නිසා තනතුරු නාමය ඇතුලත් කරගැනීම.
5.    මුල් හැඳුනුම්පතේ සටහන් අපැහැදිලි වීම.
6.    විවිධ හේතුන් මත හැඳුනුම්පත පලුදු වීම.
7.    1972 හා 1973 වර්ෂ වලදී නිකුත් කල හැඳුනුම්පත් වෙනුවෙන් නව හැඳුනුම්පත් නිකුත්කිරීම. (1990 නොවැම්බර් 20 දිනැති අංක 673/6 අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම වර්ෂ වල නිකුත් කල හැඳුනුම්පත් අවලංගු කර ඇත)

හැඳුනුම්පත සංශෝධනය කිරීම සදහා පු. ලි. දේ. වී. 08 ආකෘති පත්‍රය (රෝස පාට හෝ රෝස පාට අකුරින් මුද්‍රිත පෝරමය) සමග පහත දැක්වෙන ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.
2.1  දැනට භාවිතා කරන හැඳුනුම්පත
2.2   1 3/8" *  7/8" ප්‍රමාණයේ වර්ණ ඡායාරුප 5 ක්.
2.3  රුපියල් 15 ක වටින මුද්දර
2.4  තම රැකියාව හැඳුනුම්පතේ සදහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාල සේවා සහතිකය ද (මාස 03 ක්   ඇතුලත ලබාගත්), වෘත්තීයමය සුදුසුකම් ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාල සහතිකය ඉදිරිපත් කළ             යුතුය. ව්‍යාපාරිකයන් ඒ සදහා ව්‍යාපාර නාමලියාපදිංචි කිරීමේ සහතික කළ පිටපත් ඉදිරිපත් කළ යුතුය.
2.5  දැනට භාවිතා කරන හැඳුනුම්පතේ අංකය අපැහැදිලි නම් එම අංකය භාවිතා කලබවට සනාථ වන ලියකියවිලි. (රියදුරු බලපත් , ගුවන් ගමන් බලපත්)
2.6  දැනට භාවිතා කරන හැඳුනුම්පතේ සදහන් නම, උපන්දිනය හා අදාල විස්තර වෙනස්වී හෝ අපැහැදිලි නම්, උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ ඉහත 1.2 චේදයේ සදහන් විකල්ප ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත්          කළ යුතුය.
2.7  විවාහක කාන්තාවක් තම ස්වාමි පුරුෂයාගේ නම ඇතුලත් කිරීම සදහා ඉල්ලා සිටී නම් විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
2.8  බෞද්ධ භික්ශූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය ඉදිරිපත් කළයුතුය. අන්‍යාගමික පූජක තුමන්ලා එම පුඋජ්‍යත්වය සනාථ කිරීම            සදහා අවශ්‍ය සහතික ඉදිරිපත් කළයුතුය.
2.9  උපැවිදි බව ලබා ඇත්නම්, බෞද්ධ කටයතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන උපැවිදි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
2.10  වෙනත් නම් ඇතුලත් කිරීමට අවශ්‍ය නම් සාමදාන විනිශ්චයකරුවෙකුගෙන් ලබාගත් දිවුරුම් ප්‍රකාශයක් හා   එයට ඇතුලත්  කිරීමට අවශ්‍ය නම භාවිතා කල බවට ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

3 නැතිවීම හේතුකොට ගෙන හැඳුනුම්පතක අනුපිටපතක් ඉල්ලීම
ජාතික හැඳුනුම්පත නැතිවීම හේතුකොට ගෙන අනුපිටපතක් ලබාගැනීම සදහා ඉල්ලුම් කරන සියලුම අයදුම්පත් පු. ලි. දේ. වී. 07 ආකෘති පත්‍රය (කොළ පාට හෝ කොළපාටින් අකුරු මුද්‍රිත) සමග පහත දැක්වෙන ලියවිලි ඉදිරිපත් කළ යුතු ය.
3.1 හැඳුනුම්පත නැති වූ බවට පොලිසියේ කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත.(මාස 6 ක් නොඉක්ම වූ)
3.2 1 3/8" * 7/8" ප්‍රමාණයේ වර්ණ ඡායාරූප  5 ක්.
3.3 රු . 15 ක් වටිනා මුද්දර
3.4 උප්පැන්න සහතිකය හෝ ඉහත 1.2 චේදයේ සදහන් විකල්ප ලේඛන
3.5 තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාල සේවා සහතිකය ද (මාස 3 ක් ඇතලත ලබාගත් ) වෘතීයමය සුදුසුකම් ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාල සහතිකය ඉදිරිපත් කළ යුතුය. උදා: වෛද්‍ය , ගණකාධිකාරී , නීතිඥ , ඉංජිනේරු වැනි වෘතීය සුදුසුකම් සදහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය. ව්‍යාපාරිකයන් ඒ සදහා ව්‍යාපාර නාම ලියාපදිංචිකිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
3.6 නැතිවූ හැඳුනුම්පතෙහි අංකය භාවිතා කල බවට සනාථ කෙරෙන ලියවිලි උදා: බැංකු පාස් පොත, ගමන් බලපත්‍රය, රියදුරු  බලපත්‍රය වැනි ලේඛන
3.7 ග්‍රාමනිලධාරී මගින් ලබාගත් පදිංචි සහතිකය
3.8 උපැවිදි බව ලබා ඇත්නම්, බෞද්ධ කටයතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන උපැවිදි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
නැතිවූ හැඳුනුම්පතක් සදහා අනුපිටපතක් ලබාගැනීමට අදාල විස්තර අයදුම්පතේ සදහන් කලයුත්තේ පැරණි හැඳුනුම්පතේ සදහන් අයුරින්ම ය. (ගිහි හැඳුනුම්පත ලබාගැනීමේ දී, පුජ්‍ය පක්ෂය සදහා මෙය අදාල නොවේ)

සකස්කළ හැඳුනුම්පත ඔබ අතට  ලැබුණු වහාම පරීක්ෂා කර බලන්න. යම් දෝෂයක් ඇතොත් දෝෂය කුමක්ද යන්න සදහන් කළ ලිපියක් ද සමග හැඳුනුම්පත වහාම මෙම දෙපාර්තමේන්තුවට ලැබීමට සලස්වන්න. දෝෂය නිවැරදි කිරීම සදහා හැඳුනුම්පත භාරදීම මාස දෙකකට වඩා කල්ගත වුවහොත් එම දෝෂය නිවැරදි කරගැනීම සදහා සංශෝධන අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු වේ.

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home